Analysis
ගෝඨාගෝගමට එල්ල වූ පොහොට්ටුවේ ප්‍රහාරය: කාලරාමුවක්
May 10, 2022
මෙය 2022 මැයි 9 වන දින සිදු වූ සිදුවීම් පිළිබඳ දර්ශන සහ සිතියම් සමඟ වාර්තාවකි.

සඳහන් කළ යුතු කරුණු කිහිපයක්

මෙය ලිපි දෙකකින් පළමු ලිපිය වේ. 2022 මැයි 9 වන දින ගෝඨාගෝගමට එල්ල වූ ප්‍රහාරය දක්වා වූ සිදුවීම් මෙමගින් ගවේෂණය කරයි. දෙවන කොටස, ප්‍රහාරයෙන් අනතුරුව සිදු වූ සිදුවීම් ගවේෂණය කරයි.

අප හරියටම දක්වා නොමැති සෑම අවස්ථාවකම කාලය දළ වශයෙන් (විනාඩි 5 ක් පමණ අඩු/වැඩි වශයෙන්) දක්වා ඇති බව සලකන්න.

රතු පැහැයෙන් දක්වා ඇත්තේ මෙදින සිදුවීම්වල සෘජු ප්‍රතිඵලයක් ලෙස අපගේ “ලිපිගොනු” ව්‍යාපෘතියේ පෙනී සිටීමට නියමිත පුද්ගලයන් වේ. ඒවා සූදානම් වූ විට, මෙම පෙළ පේළිය සහ රතු පැහැයෙන් දක්වා ඇති නම් එක් එක් ලිපිගොනුවට අදාළ සබැඳි (links) සමඟ යාවත්කාලීන කරනු ලැබේ.

නම් සම්බන්ධයෙන්: අපි සාමාන්‍යයෙන් පුද්ගලිකත්වයට ඇති අයිතිය පිළිබඳව විශ්වාස කරමු. එසේම ඔබ යමෙකුට ප්‍රසිද්ධියේ පහර දුන් විට හෝ ඔබ ශ්‍රී ලාංකික පුරවැසියන්ගේ අයිතීන් උල්ලංඝනය කිරීමට (උදා: සාමකාමීව විරෝධය දැක්වීමේ අයිතිය) සම්බන්ධ රාජ්‍ය නිලධාරියෙකු වූ විට හෝ මෙම අයිතිය අවසන් වන බව ද අපි විශ්වාස කරමු. මෝඩයෙක් වගේ හැසිරෙන්න, මෝඩයෙක් වගේ සැලකුම් ලබන්න.

අපි පටන් ගනිමු. එක් එක් කොටස දිග හැරීමට එක් එක් ශීර්ෂ අසල ඇති ඊතල ක්ලික් කරන්න.

පෙරවරු 10:00 ට පෙර: අරලියගහ මන්දිරය පිටුපස මහින්ද හිතවාදී විරෝධතාව

රාමුවට හසු වූ ප්‍රසිද්ධ චරිත: මහින්ද කහඳගම, දිලිප් ප්‍රනාන්දු

NewsFirst, අරලියගහ මන්දිරය පිටුපස මහින්ද හිතවාදී රැස්වීමක් පිළිබඳව වාර්තා කරයි. මෙම දර්ශනවල කැපී පෙනෙන පුද්ගලයන් දෙදෙනෙක් වේ: මහින්ද කහඳගම (රතු ෂර්ට් එක: ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සම්බන්ධ කොළඹ නාගරික මන්ත්‍රීවරුන්ගේ සහ සේවක සංගමයේ සභාපති), සහ දිලිප් ප්‍රනාන්දු (පපුවේ මහින්දගේ මුහුණෙහි පච්චයක් ඇති පුද්ගලයා: පොහොට්ටුවේ කොළඹ 06 ප්‍රධාන සංවිධායක මිලින්ද රාජපක්ෂගේ පෞද්ගලික ලේකම්).

පෙරවරු 10:00 සිට: අරලියගහ මන්දිරය තුළ සිදු කළ සටනට කැඳවීමේ ප්‍රකාශ

රාමුවට හසු වූ ප්‍රසිද්ධ චරිත: මහින්ද රාජපක්ෂ, පවිත්‍රා වන්නිආරච්චි, ජොන්ස්ටන් ප්‍රනාන්දු, සංජීව එදිරිමාන්න, සනත් නිශාන්ත, නාමල් රාජපක්ෂ, මහින්ද කහඳගම.

පෙරවරු 10.00 ට ස්වල්ප වෙලාවකට පෙර, රාජපක්ෂ හිතවාදී කණ්ඩායම් අගමැති නිල නිවස වන අරලියගහ මන්දිරයේ පිටුපස දොරටුවෙන් පිටත රැස් වීමට පටන් ගත්හ.

මෙම රැස්වීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ බලය හොබවන පළාත් පාලන ආයතනවල කාර්ය මණ්ඩලය සහ එයට අනුබද්ධ වෘත්තීය සමිති සහභාගී විය. පෙරවරු 9:47 ට ෆේස්බුක් සජීවී දර්ශනයක් ආරම්භ කළ NewsFirst, රැස්ව සිටි පිරිස ඉදිරිපිටට මයික්‍රෆෝනයක් යොමු කළේ ඔවුන් කරන්නේ කුමක් දැයි කෙලින්ම විමසීමට ය:

මහින්ද කහඳගම ද මෙහි පැහැදිලිව පෙනේ (වීඩියෝවේ 10:20 මොහොත බලන්න). අනතුරුව මෙම කණ්ඩායම් අරලියගහ මන්දිරය ඇතුළට ගිය අතර එහි දී හිටපු අමාත්‍යවරුන් සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු ඔවුන්ව අමතන ලදි. රැස්වීම ඉතා විශාල බව ඔබටත් පෙනෙනු ඇති.

ඉන් ස්වල්ප වෙලාවකට අනතුරුව (NewsFirst සජීවී දර්ශනවලට අනුව) මහින්ද රාජපක්ෂ රැස්ව සිටි පිරිස අමතන ලදි.

පෙරවරු 11.33 ට මඳ වේලාවකට පසු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කුරුණෑගල පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු මයික්‍රෆෝනය අතට ගත් අතර ඔහු ඉතා පැහැදිලිවම මයිනාගෝගම යන්න නමින්ම සඳහන් කරමින් ආධාරකරුවන් උසිගන්වයි. 'සටන ආරම්භ කරමු!', ඔහු කෑ ගසයි, 'ජනාධිපතිතුමාට ඒක කරන්න බැරි නම්... අපි ඔක්කොම අයින් කරනවා!'

ශේක්ස්පියර්ගේ ජුලියස් සීසර් නාට්‍යයේ මාර්ක් ඇන්තනී පවසන පරිදි ‘”වනසන්න!” යැයි මොර ගසන්න, යුද්ධයේ බල්ලන්ට නිදහසේ යාමට ඉඩ දෙන්න’ (’Cry “Havoc!” and let slip the dogs of war’).

ජොන්ස්ටන්ට පසෙකින් විනාශයට ඔල්වරසන් දෙමින් සිටින්නේ සංජීව එදිරිමාන්න යි. ඔහු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කළුතර දිස්ත්‍රික්කයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වන අතර නාමල් රාජපක්ෂගේ හෙංචයියෙකු වේ. නාමල් රාජපක්ෂ ද මෙහි සිටියි. පහත දැක්වෙන්නේ ‘ගාලු මුවදොරට යමු!’ යැයි ඇසෙන කෑගැසීම් අතරතුර ඔහු ආධාරකරුවන් සමඟ සෙල්ෆි ගසන ආකාරය යි.

නාමල් රාජපක්ෂ පසුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ රැස්වීම සාමකාමී වූ බවත්, එය 'පෞද්ගලික අවශ්‍යතා ඇති මැර කල්ලි විසින් පැහැර ගන්නා ලද' බවත් ප්‍රකාශ කරමින් ඉහතින් දැක්වෙන වීඩියෝ පටයම නැවත ට්වීට් කරනු ඇත.

කෙස්වුවත්, ඉහතින් පැහැදිලිව දක්වා ඇති, ජොන්ස්ටන් සිදු කළ සාම විරෝධී ආරාධනය මගින් එය එසේ නොවන බව ඔප්පු වී හමාරය. එසේම, සනත් නිශාන්තගේ පෙනී සිටීම ද එයට පටහැනි වේ. සනත් නිශාන්ත යනු ගෝඨාගෝගමට පැමිණි මැර කල්ලියට සෘජුවම සහභාගී වූ, එමෙන්ම එසේ සහභාගී වනවා වීඩියෝවල පටිගත වූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරයෙකු වේ. සනත් නිශාන්තගේ ෆේස්බුක් පිටුව ද එම ස්ථානයේ සිට සජීවී දර්ශන පෙන්වා ඇත. ටී ෂර්ට් එක බලන්න: කහ, රතු, කළු.

තිරයේ දැක්වෙන්නේ අර මුලින් දැක්වූ වේදිකාව (මහින්ද සහ ජොන්ස්ටන් දෙදෙනාම කතා කළ මයික්‍රෆෝන දෙකක් ඇති සැකසීම බලන්න) ඉදිරිපිට කතා කරන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ තවත් මන්ත්‍රීවරියක වන පවිත්‍රා වන්නිආරච්චි යි.

ඊට ස්වල්ප වෙලාවකට පසුව (පහත වීඩියෝවේ 15:40 මොහොත බලන්න), කෑගසන මැර පිරිසක් අරලියගහ මන්දිරයෙන් පිටතට පැමිණෙන්නේ "මේක තමයි වේලාව, Galle Face බහින්න!" යැයි කියමිනි.

මධ්‍යහන 12:00 සිට: මයිනාගෝගමට එල්ල කළ ප්‍රහාරය

රාමුවට හසු වූ ප්‍රසිද්ධ චරිත: නිශාන්ත ජයසිංහ, දිලිප් ප්‍රනාන්දු, පුෂ්පලාල් කුමාරසිංහ

අමන්ත පෙරේරා විසින් පළ කළ ට්විටර් වීඩියෝ පටය පෙන්වන්නේ මැර කණ්ඩායම වොන්ඩර් හෝටලය (Wonder Hotel) ඉදිරිපිට බාධක (අරලියගහ මන්දිරය සහ පොලිසිය පසුකර තරමක් කොල්ලුපිටිය දෙසට) උඩින් පැන මයිනාගෝගමට පහර දීමට පැමිණෙන ආකාරය යි.

Economynext වෙතින් ලබාගත් ඉහත ඡායාරූපයේ නිශ්චිත වේලා මුද්‍රාවක් දැක්වේ - මධ්‍යහන 12. මෙම මැර කල්ලිය ඉන්පසුව මයිනාගෝගම දක්වා දිවෙන මාර්ගය ඔස්සේ ගමන් කරයි. මයිනාගෝගමට මැර කල්ලි ප්‍රහාරය එල්ල කරන අවස්ථාව ග්‍රහණය කර ගන්නා, පෙනෙන පරිදි අරලියගහ මන්දිරය පැත්තේ සිට පටිගත කර ඇති දර්ශන පහතින්.

NewsFirst වෙතින් ලබාගත් ප්‍රහාරයේ දර්ශන මෙන්න:

අරලියගහ මන්දිරය පිටුපස පාරේ දී මාධ්‍යවේදියෙකු පහර දීමට ලක් වෙයි. NewsWire වෙතින් ලබා ගත් වීඩියෝව, දිලිප් ප්‍රනාන්දු එම ස්ථානයේ සිටි බව පෙන්වයි.

සුදු කමිසයක් ඇඳ සිටි පිරිමියෙකු මයිනාගෝගම දී කාන්තා විරෝධතාකරුවෙකුට පහර දී බිම හෙලන ආකාරය පිළිබඳ පැහැදිලි දර්ශන ප්‍රවෘත්ති ආයතන ගණනාවක් විසින් ග්‍රහණය කරගෙන තිබුණි.

සමාජ මාධ්‍ය පරිශීලකයින් අදාළ පුද්ගලයා අමිත අබේවික්‍රම ලෙස හඳුනා ගනිමින් අපගේ #AttackOnGGG හෑෂ්ටෑගය භාවිත කරමින් අපව පින්තූරවල ටැග් කිරීමට පටන් ගන්නා ලදි.

පෙනෙන පරිදි අමිත අබේවික්‍රම යනු එතරම් වැදගත් නොවන මැරයෙකි. ඔහුගේ ෆේස්බුක් ගිණුම lock කිරීමට ටික වේලාවකට පෙර ඔහු වීඩියෝවේ පටිගත වී ඇති තම ක්‍රියාවන් හා සංසන්දනය කිරීම සඳහා පහත දැක්වෙන ආකාරයේ මුළු සිරුරම පෙනෙන අනර්ඝ ඡායාරූප (නොසිතා නොබලා) අපට ලබා දුන්නේය. ඔව්, ඔහුගේ ෆේස්බුක් ගිණුමේ cover photo එකේ දැක්වෙන්නේ ඔහු මහින්ද රාජපක්ෂව මුණගැසෙන ආකාරය යි.

මෙහි දෙවැනි මැරයා (ලා නිල් පැහැති ටී ෂර්ට් එක) නිශාන්ත ජයසිංහ ලෙස හඳුනාගෙන ඇත. මහින්ද රාජපක්ෂගේ ෆේස්බුක් පිටුව සහ දිනමිණ යන දෙකම ඔහුගේ නම සඳහන් කරන්නේ 'අග්‍රාමාත්‍ය සම්බන්ධීකරණ ලේකම් නිශාන්ත ජයසිංහ’ එනම් මහින්ද රාජපක්ෂගේ සම්බන්ධීකරණ ලේකම් ලෙස යි.

මේ සියල්ල මධ්‍යයේ කිනම් වෙලාවක දී හෝ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සම්බන්ධ, අම්බලන්ගොඩ පළාත් සභාවේ සභාපති පුෂ්පලාල් කුමාරසිංහ අරලියගහ මන්දිරය අසල දී පූජකවරයෙකුට පහර දී ඇත.

Mind Adventures Twitter ගිණුම වෙතින් ලබාගත් දර්ශන මිනිසුන් මයිනාගෝගම කඩා බිම දමා ආයුධ ලෙස භාවිත කිරීමට ලෝහ මුගුරු සහ ලෑලි අහුලා ගන්නා ආකාරය (ඉතා පැහැදිලිව) පෙන්වයි.

ඉන්පසුව මෙම මැර කල්ලිය ගෝඨාගෝගම දෙසට ගමන් කරයි.

පස්වරු 12:30 සිට: ගාලු මුවදොර වටරවුම දෙසට ගමන් කිරීම

රාමුවට හසු වූ ප්‍රසිද්ධ චරිත: සනත් නිශාන්ත

අප සතුව ඇති පැරණිම දර්ශන, එය WhatsApp හි හුවමාරු වනු දැක සංරක්ෂිත කර තිබුණේ 'The Sri Lankan Struggle' නම් ඉන්ස්ටග්‍රෑම් පිටුව යි. මෙමගින් පෙන්වන්නේ රාජපක්ෂ හිතවාදී මැර කල්ලිය ගාලු මුවදොර දෙසට ගමන් කරද්දී පොලිසිය බලා සිටින ආකාරය යි. මෙම වීඩියෝවේ කැමරාව අල්ලාගෙන සිටින පුද්ගලයා පොලිස් නිලධාරියෙකුගෙන් ප්‍රශ්න කරන්නේ ඔවුන් මැර පිරිස නතර නොකරන්නේ මන්දැයි යන්න යි. නිලධාරියාගේ ඇත්තම ප්‍රතිචාරය වන්නේ 'අපිට බැහැ' කියා යි.

මෙම දෙවන වීඩියෝව ගාලු මුවදොර වටරවුමෙනි: මේ වනවිට මැර පිරිස තවමත් එම ස්ථානයට පැමිණ නැත. කැමරාවේ සටහන් වී ඇත්තේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ගෝඨාගෝගම සහ මයිනාගෝගම විරෝධතාකරුවන්ට 'ඇතුළට යන්න' - එනම් ගෝඨාගෝගම දෙසට යන ලෙස පවසන අතර මැර පිරිස නතර කිරීමට පොරොන්දු වන ආකාරය යි. ජල ප්‍රහාරක රථයක් ඉදිරියට එන සහ පොලිසිය ගාලු මුවදොර වටරවුමට ඉදිරියෙන් මුර වළල්ලක් සාදන ආකාරය පසුබිමේ පෙනේ.

දහවල් 12.33 ට (දෙරණ වේලා මුද්‍රාවට අනුව) ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්ත මුර වළල්ල ඉදිරිපිට සිටී. මතකද අර කහ පාට ටී ෂර්ට් එක?

දහවල් 12:43 සිට: පොලිසිය ගාලු මුවදොර දී මැරයන්ට ඉදිරියට යාමට ඉඩ දීම

රාමුවට හසු වූ ප්‍රසිද්ධ චරිත: සනත් නිශාන්ත

NewsFirst සජීවී විකාශය අදාළ වන්නේ මෙහි දී ය. දහවල් 12:40 ට (සජීවී විකාශයේ 39:37 මොහොත) ඔවුන් හරියටම දෙවන පොලිස් මුර වළල්ල ඉදිරිපිට, මැර කල්ලිය පැත්තෙන්, කැමරාවට හසු කරන අතර අපට පැහැදිලිවම “ගෝඨාභය ඕනේ! මහින්ද ඕනේ! Barriers කඩාගෙන යමවු! ඉල්ල ගනිල්ලා rifle! මරල දාපල්ලා! මුං මරපියවු! ගෝඨාගම එකෙක් තියන්නෑ! ඉවසුව ඇති! ගහපල්ලා petrol!” යැයි පුද්ගලයෙකු කෑ ගසනු ඇසේ.

මෙම තර්ජනවල බරපතලකම සහ සෙනඟගේ විශාලත්වය නොසලකා පොලිස් මුර වළල්ල ක්ෂණිකවම පාහේ කැඩී යනු පෙනේ. දෙරණ දර්ශනවල දැක්වෙන්නේ පොලිස් මුර වළල්ල එක් පැත්තකින් කැඩී යාමට පෙර මැර පිරිස කැරලි මර්දන පලිහ තල්ලු කරන්නේ විනාඩියකටත් වඩා අඩු කාලයක් බවයි.

මෙම ප්‍රයත්නය කොතරම් සංකේතාත්මක පමණක් ද යන්න තේරුම් ගැනීමට, ඉහළ ස්ථානයක සිට ලබාගත් මෙම වීඩියෝව බලන්න. එය ඇදහිය නොහැකි තරම් සංකේතාත්මක උත්සාහයක් පෙන්නුම් කරයි; සිහින්, පේළි දෙකක පොලිස් මුර වළල්ලක් සෑදෙන අතර මැර පිරිස ඉදිරියේ එය ක්ෂණිකවම පාහේ දිය වී යයි. එසේම, පසුබිමෙහි (භාවිත නොකළ) ජල ප්‍රහාරක රථ එකක් නොව දෙකක්ම පවතින අතර දැඩි කැරලි මර්දන ආම්පන්නවලින් සැරසුණු (කිසිවක් නොකරන) පොලිසිය සිටියි.

මැර කල්ලිය වහාම මෙය කඩාගෙන ඇතුළු වේ. මෙහි දැක්වෙන්නේ අප ඉහත කතා කළ දෑ ආවරණය කරන trim කළ clip එකකි:

පොලිසිය ආපසු දුව ගොස් ගාලු මුවදොර බස් නැවතුම ඉදිරිපිට දෙවන මුර වළල්ල සෑදීමට උත්සාහ දරන අයුරු දැකගත හැකිය. උපකරණ අවට තිබුණ ද, ජල ප්‍රහාරක රථ හෝ කඳුළු ගෑස් හෝ භාවිත නොකෙරේ: ඒ වෙනුවට පොලිස් නිලධාරීන් අත් අල්ලාගන්නා අතර, නැවතත්, ක්ෂණිකවම පාහේ දිය වී යන තවත් සංකේතාත්මක මුර වළල්ලක් සාදනු ලැබේ.

මෙය ඊළඟ clip එකයි. අපගේ හොඳම අනුමානය මේ දහවල් 12:46 ට පමණ බවයි. පාරේ එන මැරයන් ඉදිරියෙන් මුර වළල්ලක් සෑදීමට පොලිසිය නැවත පසුබසින ආකාරය ඔබට පැහැදිලිව දැකගත හැකිය. නමුත්, ගාලු මුවදොර පැත්තකින් සම්පූර්ණයෙන්ම විවෘතය. පළමු මුර වළල්ලේ දී මෙන්ම, මැරයෝ නිරායාසයෙන්ම මෙය කඩාගෙන ඉදිරියට දිව යති.

පහත රූපයේ දැක්වේ සනත් නිශාන්ත, ගාලු මුවදොර වටරවුමේ දී මැර පිරිස නතර කරන බවට ප්‍රතිඥා දුන් නිලධාරියා වන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් සමඟ සංවාදයක යෙදෙමින් ගෝඨාගෝගම දෙසට ගමන් කරන ආකාරය යි.

මේ ඇත්තමට සනත් නිශාන්ත සහ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් බව NewsWire තහවුරු කරයි.

ගෝඨාගෝගමට එල්ල කළ ප්‍රහාරය

රාමුවට හසු වූ ප්‍රසිද්ධ චරිත: සනත් නිශාන්ත

මැර කල්ලිය වහාම ගෝඨාගෝගමට දෙපසින්ම පහර දුන් අතර, පොලිසිය ඔවුන් නැවැත්වීමට අතිශයින්ම අවම උත්සාහයක් පමණක් ගන්නා ලදි. පොලිසිය, මාර්ගය මත තෙවන මුර වළල්ලක් සෑදීමට උත්සාහ ගන්නා අතර ඔවුන් දෙපස සම්පූර්ණයෙන්ම අමතක කර දමා තිබීම ගෝඨාගෝගම කූඩාරම්වලට පහර දීමට මැර පිරිසට ඉඩ සලසයි. දෙරණ හරහා ලබා ගත් දර්ශන තුළින් අපට මෙම ප්‍රහාරය පැහැදිලිව දැකගත හැක.

කලාගාරය සහ පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් විපතට පත්වූවන්ගේ ස්මාරකය මුලින්ම කඩා වැටුණු ඒවා අතර වේ.

කූඩාරම්වලට පහර දෙන රාජපක්ෂ හිතවාදී මැරයන්ව නැවැත්වීමට සංකේතාත්මක උත්සාහයක්වත් නොගෙන පොලිසිය ඔවුන් පසුකර යයි (05:03 මොහොත බලන්න).

වීඩියෝවේ තත්පර තිහකට පසු, කූඩාරම් ගණනාවක් ගිනි ගනිමින් පවතී.

මේ සියල්ලටම පසුව ජල ප්‍රහාරක රථ පහර දීමට පටන් ගනී. ඔවුන් ඉලක්ක කරන්නේ ඒ වනවිටත් නටබුන් වී තිබූ ගෝඨාගෝගමෙහි මුහුද පැත්තේ මුහුණත වෙතය. එක් ජල ප්‍රහාරක රථයක් ටික වෙලාවක් වෙනත් ජල ප්‍රහාරක රථයකට පහර දෙයි, පෙනෙන විදිහට අහම්බෙන්.

වීඩියෝව මැද වන විට (7:55 මොහොත බලන්න) ඔබට පෙනෙන්නේ රාජපක්ෂ හිතවාදී කණ්ඩායම පාරේ සිටින පුද්ගලයෙකුට දරුණු ලෙස පහර දෙන ආකාරය යි; මේ වන විට ආණ්ඩු විරෝධී විරෝධතාකරුවෝ සූදානම් වී සිටින අතර ප්‍රතිප්‍රහාර එල්ල කිරීමට එම ස්ථානයට පිවිසෙමින් සිටිති. NewsFirst වීඩියෝවේ, සනත් නිශාන්තව ප්‍රහාරය එල්ල වූ ස්ථානයෙන් ඉවතට ගෙන යන අයුරු සටහන් වේ (පහත වීඩියෝවේ 1:24 මොහොත බලන්න).

Webnews.lk වෙතින් ලබා ගත් මෙම සජීවී දර්ශන දහවල් 12:04 ට ආරම්භ වී ඇති අතර මැර කල්ලිය ගෝඨාගෝගමට කඩා වැදීමේ ජංගම දසුනක් ලබා දෙයි. 46:00 වන මොහොතේ දී පමණ (එනම් දහවල් 12:50ට) පොලිසිය තුන්වන මුර වළල්ල ද සෑදීමට උත්සාහ කරයි. 52:13 වන මොහොතේ දී පමණ (එනම් දහවල් 12:58ට) ඔබට කඳුළු ගෑස් ප්‍රහාරකවල හුරුපුරුදු ශබ්දය ඇසෙනු ඇති අතර ඒ වන විටත් ජල ප්‍රහාර එල්ල කර ඇති බව මෙය පටිගත කරන මාධ්‍යවේදියා පවසයි.

දැඩි කැරලි මර්දන ආම්පන්න (පැඩින්, ගෑස් මුහුණු ආවරණ ආදිය) පැළඳ සිටින පොලිස් නිලධාරීන් රූපරාමුව තුළට සහ ඉන් පිටතට යමින් එමින් සිටින අතර මෙහිදී ද ඔවුහු කිසිවක්ම පාහේ නොකරති.

මෙම කුමන වෙලාවක හෝ සජිත් ප්‍රේමදාස මෙතැනට අවතීර්ණ වීමට උත්සහ දරන අතර පහර දී පලවා හැරෙනු ලැබේ. වින්ඩ්ෂීල්ඩ් එක සමාදානයේ සැතපේවා!

මේ වන විට රාජපක්ෂ විරෝධී මැර කණ්ඩායම් ඒකරාශී වීමට පටන් ගෙන තිබුණු අතර රාජපක්ෂ හිතවාදීන් දඩයම් කරමින් සිටියහ. ඔවුන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මැර පිරිසට පහර දීම වැළැක්වීමට පොලිසිය උත්සාහ දරමින් සිටිනු පෙනේ.

ගෝඨාගෝගමට එල්ල වූ ප්‍රහාරය, මැර ප්‍රහාරයේ සිට කඳුළු ගෑස් ප්‍රහාරය දක්වා සමස්තයක් වශයෙන් ගත් කල විනාඩි 10 ක් පමණ පැවති බව අප ගණන් බලා ඇත. බොරුවට පොලිස් මුර වළලු හතරක් සාදා පලා ගොස් තිබිණි; හාස්‍යයට කරුණ නම්, මෙම සෑම මුර වළල්ලක දී ම පොලිසිය සතුව තිබූ ප්‍රහාරක බලය ගෝඨාගෝගමේ අවසාන ආරක්ෂකයින් සතුව තිබූ ප්‍රහාරක බලයට වඩා බොහෝ සෙයින් වැඩි වීමයි.

දහවල් 1.51 වන විට, නීතීඥයින් විසින් ගෝඨාගෝගම සහ පොලිසිය අතර මානව බාධකයක් නිර්මාණය කර තිබුණි (පහත දැක්වෙන EconomyNext හි ඡායාරූපය මෙම නිශ්චිත වෙලාව දැක්වීමට උපකාරී වේ.)

අවසාන වශයෙන්

මෙය ඔබ දැනටමත් දන්නවා, නමුත් අපිත් ඒක කියන්නම්.

පොලිසිය හිටියේ ප්‍රහාරකයන්ගේ පැත්තේ. ඔවුන් මෑත කාලයේ ගත් පියවර හා සසඳා බලන විට, ඔවුන් මෙම සාමකාමී විරෝධතාවය විනාශ කිරීම වැළක්වීමට අවම ප්‍රයත්නයක්වත් නොගත්තා පමණක් නොව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු මැර කල්ලිය තමන්ට අඩි කිහිපයක් ඉදිරියේ කූඩාරම්වලට ගිනි තබමින් සිටිය දී සනත් නිශාන්ත සමඟ සංවාදයේ යෙදී සිටිනු ද දක්නට ලැබේ.

නාමල් රාජපක්ෂ කියා සිටියේ ඔවුන්ගේ රැස්වීම පෞද්ගලික අවශ්‍යතා ඇති මැර කල්ලියක් විසින් පැහැරගත් බව සහ ප්‍රචණ්ඩත්වය වඩාත්ම යොමු වූයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ආධාරකරුවන්ට බවයි.

මෙය පැහැදිලිවම අමු බොරුවක්. ජොන්ස්ටන් ප්‍රනාන්දු මෙම රැස්වීමේ වේදිකාවේ සිට විවෘතවම සටනට උසිගැන්වීම් කරයි. සනත් නිශාන්ත මෙම මුළු සිදුවීම පුරාවටම (රැස්වීමේ සිට ගෝඨාගෝගමට සිදු වූ ප්‍රහාරය දක්වා) සිටියි. දිලිප් ප්‍රනාන්දුගේ සහභාගීත්වය ඇති අතර නිශාන්ත ජයසිංහ කාන්තාවකට පහර දෙන ආකාරය වීඩියෝ ගත වී ඇත. මීට අමතරව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සංවිධායකයින් සහ එයට හිතවත් වෘත්තීය සමිති නායකයින් මෙම සිදුවීම පුරාවටම සිට ඇත.

යම් මුලාශ්‍ර පවසන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට හිතවත් මොරටුව නගරාධිපති සමන්ලාල් ප්‍රනාන්දු ද මෙයට විශාල වශයෙන් සම්බන්ධ බවයි. කෙසේනමුත් අපට ඔහුගේ සම්බන්ධය දැක්වෙන ඡායාරූප හෝ වීඩියෝ හෝ සොයාගැනීමට නොහැකි විය. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගම්පහ පාර්ලිමේන්තු මන්ත්‍රී මිලාන් ජයතිලකව ද බාගෙට හඳුනාගෙන ඇත. අප "බාගෙට හඳුනාගෙන" යැයි දක්වන්නේ මෙම ස්ක්‍රීන්ෂොට්වල මුලාශ්‍රය සොයාගැනීමට උත්සාහ කළ ද සුපැහැදිලි මුලාශ්‍රයක් සොයාගැනීමට අප අපොහොසත් වූ නිසා යි.

පැහැදිලිවම මෙහි පෞද්ගලික අවශ්‍යතා තිබුණු මැර කල්ලිය වූයේ පොහොට්ටුකාරයින් ය.

මෙම ලිපියට භාවිත කළ දර්ශන සහ මූලාශ්‍ර අයිති සියලුදෙනාටම අපි ස්තූති කිරීමට කැමැත්තෙමු: NewsFirst, දෙරණ, NewsWire සහ EconomyNext (කැමරා වේලා මුද්‍රාවන් සඳහා ස්තූතියි!) හි මාධ්‍යවේදීන්, Webnews.lk සහ ට්විටර්හි අපගේ #AttackOnGGG හෑෂ්ටෑගය භාවිත කරමින් මෙම තොරතුරු වාර්තා කළ, අපව ටැග් කළ සහ වෙනත් ආකාරයකින් මෙම තොරතුරු සොයාගැනීමට උපකාර කළ සියලුදෙනා මෙයට අයත් වේ. මෙම සිදුවීමේ වේගවත් ලේඛනගත කිරීම මෙම කාර්යය සඳහා ඉතා වැදගත් වූ අතර, දේශපාලඥයින් ප්‍රසිද්ධියේ හඳුනාගැනීම බෙහෙවින් ප්‍රයෝජනවත් විය.

අප මෙහි වීඩියෝ කිහිපයක් බාගත කර නැවත උඩුගත කර ඇත. මෙහි අරමුණ වූයේ මේ සියල්ල අපගේ වැඩක් ලෙස දැක්වීම හෝ අදාළ දර්ශනවල මුල් අයිතිය නොසලකා හැරීම හෝ නොවේ. මෙම දර්ශන ට්විටර්, ෆේස්බුක්, යූටියුබ් සහ වට්ස්ඇප් හරහා එක්රැස් කරන ලද බැවින් අප පාඨකයන්ට තනි, විවිධ ගිණුම්වලට පුරනයවීමට අවශ්‍ය නොවන අත්දැකීමක් ලබාදීම එහි අරමුණ විය.

අප භාවිත කළ අන්තර්ගතයන්ගේ මූලාශ්‍ර නම් කිරීමට අපගේ උපරිම උත්සාහය දරා ඇත - සමහර දර්ශන මුලින්ම පටිගත කළේ කවුරුන් ද යන්න තහවුරු කරගැනීමට අපට නොහැකි වීම හේතුවෙන්, ඒවායේ මූලාශ්‍ර දැක්වීමට නොහැකිව ඇත. සෑම අවස්ථාවක දී ම, අප මූලාශ්‍ර කිහිපයක් පරීක්ෂා කොට දර්ශන නිවැරදි යැයි තහවුරු කරගෙන ඇත; අපි ඒවායින් පැහැදිලිම ඒවා ඔබට ඉදිරිපත් කිරීමට තෝරා ගත්තෙමු. සෑම විටම පවසන පරිදි, අපගේ වචනය විතරක් පිළිගන්න එපා: ඉදිරිපත් කර ඇති සාක්ෂි පරීක්ෂා කර බලා කාලරාමුව නිවැරදි දැයි තහවුරු කරගන්න.

ක්ෂේත්‍රයෙන් ලබාගත් විශ්මයජනක ලෙස පැහැදිලි පින්තූර කට්ටලයක් දැකගැනීම සඳහා දිනුක ලියනවත්තගේ ඉන්ස්ටග්‍රෑම් ගිණුම follow කරන ලෙස නිර්දේශ කරමු.