Analysis
හම්බන්තොට: පොහොර, ඉන්ධන සහ කෘතීම ව්‍යසනය
Jun 23, 2022
පොහොර තහනම ශ්‍රී ලංකාව පුරා ගොවීන්ට ඇති කල බලපෑම පිළිබඳ ලිපි පෙළක පළමු ලිපියයි මේ.

පොහොර තහනම ගොවීන්ට ඇති කළ බලපෑම තක්සේරු කරන මෙම ලිපි මාලාව වෙනුවන් Watchdog කණ්ඩායම ප්‍රධාන කෘෂි දිස්ත්‍රික්ක පහක් තුළ සංචාරය කරන ලදි. මේ බලවත් අස්වනු අඩුවීම් පිළිබඳ විස්තර සහ අනාගතය පිළිබඳව ගොවීන්ගේ මැසිවිලි ඇතුළත් අපගේ හම්බන්තොට දිස්ත්‍රික් වාර්තාවයි.

  • හම්බන්තොට දිස්ත්‍රික්කයේ ගොවීන්ගේ මහ කන්නයේ අස්වනු දැඩි ලෙස පහත වැටී ඇත
  • ඉන්ධන හිඟය හේතුවෙන් සමහර ගොවිබිම්වල අස්වනු නෙළීම ප්‍රමාද වී ඇති අතර එමනිසා අස්වැන්න මැලවී ඇත
  • 2021/22 මහ කන්නයේ අස්වැන්න පෙර කන්නවලට සාපේක්ෂව අඩකින් අඩු වී ඇත

චාරිකාව

මාමඩල හි ගොවියෙකු සමෘද්ධිමත් අස්වැන්නක් විය හැකිව තිබූ යමකින් තමන්ට හැකි පමණවත් බේරා ගැනීමට උත්සාහ දරන අයුරු

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ එක රැයෙන් රසායනික පොහොර තහනම් කිරීමෙන් බලපෑමට පත් වූ ගොවීන්ට සවන් දීම සඳහා Watchdog කණ්ඩායම 2022 අපේ‍්‍රල් මුල් සතියේ දී ශ්‍රී ලංකාව පුරා ස්ථාන පහක්, එනම් හම්බන්තොට, සම්මන්තුරේ, වලපනේ, පොළොන්නරුව සහ යාපනය වෙත ගමන් කරන ලදි. මෙම තහනම කෘෂිකර්මාන්තය පිළිබඳව වසර ගණනාවක් පර්යේෂණ කළ විශේෂඥයින්ගේ අදහස් සැලකිල්ලට නොගත් අතර අස්වැන්නේ විනාශකාරී පහත වැටීමක් පිළිබඳව ඔවුහු අනාවැකි පළ කළහ.

මෙම ප්‍රතිපත්තිය සැබවින්ම කෙතරම් අදූරදර්ශී සහ බලපෑම් සහගත ද යන්න මෙම ගොවීන්ගේ අත්දැකීම් හරහා මනාව පසක් වේ. වසරකට පමණ පසු රජය මෙම ප්‍රතිපත්තිය ආපසු හැරවීම, බොහෝ ගොවීන්ගේ ජීවනෝපාය අහිමි වීම සහ පසුගිය වසර පුරාවට ඔවුන් මත ඇති වූ පීඩනය නම් ආපසු නොහරවයි. මීට අමතරව, ඔවුන්ට පොරොන්දු වූ වන්දි ද මෙතෙක් ලැබී නොමැත.

ගොවීන් සමඟ අපගේ සංවාදයට පහසුකම් සැලසූ සියලුදෙනාට සහ විශේෂයෙන්ම මෙම ලිපි මාලාව යථාර්ථයක් කිරීමට තම කාලය, අදහස් සහ දැනුම ලබා දුන් ගොවීන්ට අපි ස්තූතිවන්ත වෙමු.


දකුණු පළාතේ හම්බන්තොට අධිවේගී මාර්ගයේ බරවකුඹුක අන්තර් හුවමාරුවේ සිට කිලෝමීටර් 10 ක් පමණ දුරින් පිහිටි වලව, මාමඩල සහ වෙලංගහවෙල යන ගම්මාන තුනට යමු. දකුණු පළාත ප්‍රචලිත වන නිල්වන් සාගර තලයන්ට වඩා බොහෝ වෙනස්ව සශ්‍රීක හරිත වනාන්තර සැතපුම් ගණනාවක් විහිදී ඇත. බොහෝ දුරට වී අස්වනු නෙළා ඇති අතර, තවමත් ඉතිරිව ඇත්තේ ඉන්ධන අර්බුදය හේතුවෙන් අස්වනු නෙලීම ප්‍රමාද වූ කුඹුරු පමණි. ප්‍රධාන භෝගය වී වන අතර ගොවීහු වෙනත් ධාන්‍ය, එළවළු සහ පලතුරු ද වගා කරති. සමහර කෙත්වතු වර්ෂාවෙන් පෝෂණය වන අතර තවත් සමහර කෙත්වලට යල සහ මහ දෙකන්නයේ වාරි ව්‍යාපෘති මගින් ජලය ලැබේ.

පොහොර සහ ඉන්ධන

"නිල්ල නම් කොහොමත් ආවෙම නැහැ මේ පාර, ඔක්කොම කහ ගැහිලා තිබුණෙ" යැයි එක රැයෙන් රසායනික පොහොරවලින් කාබනික පොහොරවලට මාරු වීමට සිදු වූ හම්බන්තොට ගොවීහු පවසති (මෙහි 'නිල්ල' යන්නෙහි තේරුම ගොයමට අවේණික කොළ පැහැයයි).

තම පවුලේ අවශ්‍යතා සඳහා කොටසක් තබා ගෙන සහල් මෝල්වලට හෝ රජයේ වී අලෙවි මණ්ඩලයට හෝ  විකිණීමට තරම් වගා කිරීමට පෙර වසරවල ඔවුන්ට හැකි විණි. අස්වැන්න අඩකින් පමණ අඩුවීමත් සමඟ බොහෝ දෙනා වී තම පරිභෝජනය සඳහා නිවසේ තබාගෙන සිටිති. නිෂ්පාදන පිරිවැය වැඩිවීම සහ හිඟය හේතුවෙන් ඔවුන්ගේ පවුල් සඳහා යම් ආකාරයක හෝ ආහාර සුරක්ෂිතතාවක් සහතික කිරීමට ඔවුන්ට ඇති එකම ක්‍රියාමාර්ගය එයයි.

රජයේ සහනාධාරය යටතේ ගොවීන්ට ලැබුණු කාබනික පොහොර වර්ග භාවිතය ද දුෂ්කර විය. ඔවුන්ට ලබාදෙන ලද පොහොරවල ප්‍රමිතිය පිළිබඳව බොහෝ ගොවීහු මැසිවිලි නැගූහ. නව කොම්පෝස්ට්වල ‘වීදුරු සහ රබර් කැබලි’ තිබූ බවට ඔවුහු චෝදනා කළහ. “අපිට තුවාල වෙන්න පුළුවන් කොට අපි ගොයම බලන්නවත් කුඹුර හරහා ඇවිදින්නේ කොහොමද? අපේ ළමයි කී දෙනෙක් කුඹුරේ සෙල්ලම් කරනවද?” තමන්ට ලැබුණු සමහර කාබනික පොහොර වර්ගවල මාළු ලේ ඇතුළත් වූ බව ද එමඟින් මුළු කුඹුරම ගඳ ගසා වගා පාළු කරන සතුන් ආකර්ෂණය කර ගත් බව ද ගොවීන් පිරිසක් පැවසූහ. කෙසේ වෙතත්, මෙය තහවුරු කර ගැනීම සඳහා ඔවුන්ට ලබා දුන් පොහොරවල වෙළඳ නාම ලබා ගැනීමට අපට නොහැකි විය.

“රජය අපිට කිව්වා විකල්ප බෝග වවන්න කියල. ඒවගේම අවාරයේ වෙනත් බෝග වවන්න කියලත්. අපි ඒ ඔක්කොම කළා. එකක්වත් හරිගියේ නැහැ.” ඡායාරූපය: අමලිනි ද සේරා

කාබනික පොහොර භාවිතයෙන් පමණක් තම වගාව විනාශ වීම නිසැක බැවින් ඒවා සමඟ රසායනික පොහොර මිශ්‍ර කිරීමට ගොවීහු කල්පනා කළහ. ඇතැමුන් එය නියෝජිතයන් හරහා අධික මිලකට මිලදී ගන්නා ලදි. ඔවුන් සහනාධාරය හරහා රු. 450 කට ලබා ගත් දේ දැන් රු. 15,000 ක් හෝ ඊට වැඩි හෝ වේ. තවත් සමහරු ඔවුන් සතුව දැනටමත් තිබූ තොග භාවිත කළහ. “හැම වගා කන්නෙකදීම අපි ටිකක් වෙන් කළා, ඒ හින්දා අපි ගාව ටිකක් ඉතිරිව තිබුණා - දැන් ඒ ටිකත් ඉවරයි, ඊළඟ කන්නෙදී මේක මීටත් වඩා නරක් වෙයි.”

අස්වැනු නෙළීමට කාලය පැමිණි විට ඩීසල් මිල සහ ට්‍රැක්ටර් සඳහා ඒවා ලබා ගැනීමට ඇති හැකියාව මත ඔවුන්ට එය සැලසුම් කිරීමට සිදු වේ. මුලින් වාහනවලට පමණක් සෘජුවම පුරවන්න යැයි ඉන්ධන පිරවුම්හල්වලට උපදෙස් ලැබී තිබුණි. බොහෝ කලක සිට තම ට්‍රැක්ටර්වල ඉන්ධන අවසන් වී තිබූ ගොවීහු මෙම ප්‍රශ්නය ප්‍රාදේශීය පිරවුම්හල් පවත්වාගෙන යන්නන්ට ඉදිරිපත් කළහ. දැන් එම ප්‍රදේශයේ ඇතැම් ස්ථානවල ගොවීන්ට පමණක් භාජනවලට ඉන්ධන පුරවන බවට දැක්වෙන පුවරු දක්නට ලැබේ. නමුත් මෙයින් පෝලිම් ඉවත්ව යන්නේ නැත - “අස්වැනු නෙළන්න නම් අපිට සැතපුම් ගණන් පෝලිමේ ඉන්න වෙනවා.”

“අපි දවස් තුනක් විතර පෝලිමේ හිටියා, ඔවුන් භාජනවලට පුරවන්නත් බැහැ කියනවා. දැන් අපිට ගොවි සමිතියෙන් ලබාගත් ලියුමක් පෙන්නන්න වෙලා තියෙනව තෙල් ගන්න, එතකොට විතරයි මේගොල්ලෝ ට්‍රැක්ටර්වලට ගහන්න භාජනවලට තෙල් දෙන්නෙ.”

“මේ කුඹුරේ වී පැහිල වැඩි වෙන්න ළඟයි. තව දවස් කිහිපයකින් ඒවා පාවිච්චි කරන්න බැරි වෙලා යනවා. මේ මැෂිමට දාන්න ඩීසල් තිබුණේ නැති නිසා අස්වැනු නෙළීම පරක්කු වුණා.”

බොහෝ ගොවීන් පවසන්නේ තමන් සෘජුවම වී අලෙවි මණ්ඩලයට විකුණනවා වෙනුවට සහල් මෝල්වල අතරමැදියන්ට වී අලෙවි කරන බවයි. මෙයට බොහෝ දුරට හේතුව වන්නේ යම් නිශ්චිත ප්‍රමාණයකට වියැළුණු වී ලබා දෙන ලෙස මණ්ඩලය ඉල්ලා සිටීමයි. තෙත් වී අතරමැදියාට විකිණීමෙන් ඔවුන්ට වැඩි බරක් සඳහා මුදල් අයකර ගැනීමට හැකි වන අතර එම නියෝජිතයන් සතුව සාමාන්‍යයෙන් වී වේලීම සඳහා අවශ්‍ය උපකරණ තිබේ. නමුත් මෙම වාරයේදී නම් තවත් අස්වැසිල්ලක් වන්නේ නියෝජිතයන් සමහර විට වී ගෝනි කෙළින්ම කුඹුරෙන්ම පටවා ගන්නා නිසා ගොවියාට ඒවා ප්‍රවාහනය කිරීමට භාවිත කළ යුතු ඉන්ධන ඉතිරි වීමයි. වැඩිම මිලක් ලබා දෙන කාට වුවද ඔවුන් එය විකුණනු ඇත.

ඒ වෙලාවේ වී ගෝනි පිරවූ ට්‍රැක්ටරයක් අප වාඩි වී සිටි තැන පසුකර යන ලදි. ඊට පිටුපසින් සමීපව යතුරුපැදිකරුවෙකු ද ගමන් කරයි. "දැන් හැම ට්‍රැක්ටරයක්ම යන්නේ ඔය වගේ මුරකාරයෙක් එක්ක. සැපයුම අඩු නිසා සහ මිල වැඩි නිසා මිනිස්සු සමහර විට ට්‍රැක්ටරයෙන්ම හොරකම් කරනව."

සීමිත සහල් ප්‍රමාණක් ඇති නිසා ගොවීහු තම පවුලේ ආහාර වේල සඳහා ඔවුන් සතුව ඇති ස්වල්පය තබා ගනිති. අමතර ගෝනි කිහිපයක් ඇති අය ඒවා විකුණන්නේ අරපිරිමැස්මෙනි, ඔවුහු ඊළඟ මිල වැඩි වීම තෙක් බලා සිටිති. එක් ගොවියෙකු අපට පවසන්නේ ඇය වෙනත් නිවසකට ගිය විට, මුල්ලක ගබඩා කර ඇති අමතර තොග දැකිය හැකි ආකාරයයි. “ඒගොල්ලෝ අපිට විකුණන්නේ නැහැ, වැඩි මුදලක් ගන්න පුළුවන් වෙනකන් බලන් ඉන්නවා” යැයි ඇය පවසයි. "මේ කාලේ ජීවත් වෙන්න ඒගොල්ලන්ටත් ඒ අදායම ඕන ඉතින්."

“අවුරුදු ගණනාවක් තිස්සේ අපි මේ බිම් අස්වැද්දුවා. දැන් අපේ ළමයි උන්ට හරියට ගෙවන රස්සාවක් හොයන් මුහුදු ගිහින්, මොකද උන්ට පේනවා ගොවිතැන් කරන්න අපි විඳින දුක.“

එක රැයකින් සිදු වූ ව්‍යසනයක්

ගොවීන්ට නිසි පුහුණුවක් ලබානොදීම මෙම මාරුව එක රැයකින් සිදු වුණි. තීරණ ගනු ලැබූ නමුත්, මෙම ප්‍රතිපත්තිවලින් සැබවින්ම පීඩාවට පත් වන ප්‍රජාවන් සමඟ කිසිදු සාකච්ඡාවක් සිදු නොවීය. කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සිදු කළ එකම දෙය වූයේ පොහොර බෙදා හැරීම සහ වන්දි සඳහා පෝරම පුරවා අත්සන් ගැනීම බව අපට පවසන ලදි. වගාවන් දියුණු කිරීමට අවශ්‍ය දැනුම ගොවීන් සමඟ බෙදා නොගැනුණි.

මෙම තත්ත්වය තවත් බරපතල කළේ දශක ගණනාවක් තිස්සේ රසායනික පොහොර භාවිතය හේතුවෙන් පස එයට අනුගත වී තිබීමයි. ගොවීන්ට හැඟෙන්නේ හදිසියේම හඳුන්වා දුන් කාබනික පොහොර ගොයම විසින් ප්‍රතික්ෂේප කළ බවයි. වගාව මැලවෙන්නට පටන්ගත් වහාම යම්කිසි දෙයක් වැරැදී ඇති බව ඔවුහු දැනගත්හ. “අපි කැම්පස් ගිහින් නැතුව ඇති, නමුත් අපි දන්නවා ගොයම තියෙන්න ඕන කොහොමද කියලා.”

කොම්පෝස්ට් සෑදීමට යොමු වූ සමහර ගොවීන්ට පෙනී ගියේ ගෙදර සෑදූ වර්ග රජයෙන් ලබා දෙන වර්ගයට වඩා තරමක් හොඳ තත්ත්වයේ බවයි. කෙසේ වෙතත්, මෙම අවස්ථාවේ දී එයට දැරිය යුතු පිරිවැය ප්‍රායෝගික නොවේ - කොම්පෝස්ට් කිලෝ එකක් සෑදීමට, ඔවුන්ට අමුද්‍රව්‍ය කිලෝ තුනක් මිලදී ගැනීමට සිදුවේ.

"අපි ගොවිතැන් කරන්න ණය ගන්නේ නැහැ, මොකද කන්නෙ හරිගියේ නැත්නම් අපිට ඒක ආපසු ගෙවන්න බැරි වෙන බව අපි දන්නවා." ඒ වෙනුවට ඔවුහු තම දරුවන්ට අධ්‍යාපනය ලබා දීමට ණය ලබා ගනිති. කෘෂිකාර්මික කටයුතුවලට සම්බන්ධ වීමට එම ප්‍රදේශයේ තරුණ තරුණියන් දක්වන උද්යෝගය පහත වැටී ඇති අතර, තහනමේ විනාශකාරී බලපෑම අත්දැකීමෙන් පසුව එය වඩාත් වේගවත් වී ඇත. බොහෝ අය කොළඹ හෝ විදේශයන්හි හෝ රැකියා අවස්ථා පිළිබඳව විපරම් කරති. තිරසාර අනාගතයක් ළඟා කරගැනීමට මිනිසුන්ට මෙම ප්‍රදේශය අත්හැර දමා යාමට සිදු වීම කෙතරම් අපරාදයක් ද යන්න අවට ප්‍රදේශයේ සශ්‍රීකත්වය බලමින් ගොවීහු පවසති.

රටේ වත්මන් තත්ත්වය තුළ ඔවුන්ට වඩා අමාරු තත්ත්වයක සිටින අය ඇත් දැයි ඔවුහු විවෘතව කල්පනා කරති. “මිල වැඩි වෙලා, කෑම නැති වුණහම අපිට අඩුම තරමේ අපේ ඉඩමේ මොනවා හරි වගා කරලා හරි අපේ පවුලට කන්න දෙන්න පුළුවන්. කොළඹ මිනිස්සු මොකද කරන්නේ? ඒගොල්ලන්ට ටවුමේ උයන්වල එළවළු වවන්න බැහැ.”

“සාමාන්‍යයෙන් මේ මැස්ස යටින් මෙච්චර ලේසියෙන් ඇවිදන් යන්න බැහැ, පාර බ්ලොක් වෙන්න තරමට පතෝල හැදෙනවා. නමුත් මේ පාර ඵලදාව අඩු වුණා.“

“අපි ඉහළ ඵලදාවක් දෙන බීජ පොහොර නොමැතිව වැවුවොත් ඒවා හරියන්නේ නැහැ. පේනවනෙ, ඵලදාව නිකන්ම මැලවිලා යනවා, ඒවා පාවිච්චි කරන්න බැහැ.“

එක් ගොවියෙකු ඔහුගේ ගොරෝසු අත්ලට තක්කාලි වැලක් ගනී - කොළ දැනටමත් කළු වී ඇති අතර ගෙඩිය යන්තම් සෑදී ඇත. පොහොර, බීජ සහ ඔවුන් වගා කරන බිම අතර සම්බන්ධය සහ ඒවායේ ඉතිහාසය ඔවුහු අපට පැහැදිලි කරති. “කවුද අපිව රසායනික පොහොරවලට තල්ලු කළේ? රජය තමා. ඊට පස්සේ පිටරටින් ගෙනාපු බීජ පාවිච්චි කරන්න කියලා අපිට කිව්වා. උන් මේ ඔක්කොම අපිට බලෙන් පැටෙව්වා, දැන් උන් හිතන්නේ අවුරුදු 50ක් විතර කරගෙන ආපු දේවල් එක රැයෙන් ආපහු හරවන්න අපිට පුළුවන් කියලද?”

'පිටරට බීජ’ වන්නේ 1960 දශකයේ හරිත විප්ලවයත් සමඟ ශ්‍රී ලංකාවට හඳුන්වා දුන් දෙමුහුන් ප්‍රභේදයි. දේශීය ප්‍රභේද රසායනික පොහොර නොමැතිව, කොම්පෝස්ට් සහ අනෙකුත් ස්වාභාවික පොහොරවලින් පමණක් යැපෙමින් හොඳින් වර්ධනය වුවද ගොවීන් සිතන්නේ මෙම දෙමුහුන් විශේෂ රසායනික පොහොර ලැබුණු විට පමණක් නිසි ලෙස වර්ධනය වන ලෙස විශේෂයෙන් නිර්මාණය කර ඇති බවයි.

ඔවුන්ගේ ජීවිත කාලය තුළ වගා ක්‍රියාවලියට මේ හා සමාන බාධා වූ කාලයක් ඔවුන්ට මතකද යන්න අපි අසමු. “88/89 කාලයේ දෙවැනි කැරැල්ලේදී ජවිපෙ අපිට කිව්වා වගා කරන්න එපා, කුඹුරු හිස්ව තියන්න කියලා. නමුත් අපිට සහ අපේ මිනිස්සුන්ට කන්න ඕන නිසා අපි කොහොමහරි වැවුවා.”

“වගාකරන්න උත්සාහ කරන එකත් වැඩක් නැති වෙලා දැන්. අපි වෙනදාට වැය කරන කාලෙට වඩා දහ ගුණයක් විතර යොදවලත් අපිට ලැබෙන්නේ සොච්චම් ඵලදාවක්. අපි දැන් මේ යන්තම් ගෙදර කෑමට තරම්වත් වාවගන්න තමා දඟලන්නේ.“

“ඉස්සර අපි මේ දැන් හිටන් ඉන්න තැන ඉඳන් බැලුවහම මේ මහ කුඹුරේ අනිත් කෙලවර වෙනකන්ම කෙලින්ම පේනවා. ඒත් අධිවේගී මාර්ගෙ ආවත් එක්කම ඒ මුළු වගා තීරුවම අපිට නැති වුණා.”

කුඩා එළවලු වගා භූමියක් වටකරගත් කෙත්යායක් මැදින් ගමන් කරන විට අපට පෙනෙන්නේ දක්ෂිණ අධිවේගී මාර්ගය කුඹුරු මැදින් දිගට විහිදෙන ආකාරයයි. අධිවේගී මාර්ගය මේ ප්‍රදේශ දෙකඩ කළ පසු අක්කර ගණනක වගාබිම් අඩු වී ඇත. වගා බිම් අහිමිවීම වෙනුවෙන් බොහෝ ගොවීන්ට පොරොන්දු වූ වන්දිය තවමත් ලැබී නොමැත. ගොවීන් දැන සිටියේ ඔවුන්ගේ ගම් සහ සමිති ජාලය තුළ තමන්ට ලැබිය යුතු වන්දි මුදලින් කොටසක්වත් ලැබී ඇත්තේ ඔවුන් සියල්ලන් අතරින් එක් පුද්ගලයෙකුට පමණක් බවයි.

වෙනස් වන සංස්කෘතීන් සහ අවිනිශ්චිත අනාගතයක්

අස්වැනු නෙළන ලද කෙත්යායන් හරහා ඇවිදීමෙන් සහ අඩු මිලට ඉන්ධන ඉල්ලා උද්ඝෝෂණය කරන ධීවරයින් පසුකර ගිය පසු, රාජ්‍ය නොවන සංවිධානයක් සමඟ පුහුණු සැසියක් අවසන් කරන ගොවීන් කිහිපදෙනෙකු අපට හමුවෙයි. පුහුණුකරු, කාබනික පොහොර සඳහා විකල්ප සහ ඒවා නිවසේදීම සාදා ගත හැකි ක්‍රම පිළිබඳව ඔවුන්ව දැනුවත් කර ඇත. අප සමඟ කතා කිරීමට පුටුවල වාඩි වී සිටින අතර ඔවුහු අපට කෙසෙල් ඇවරි පිටින් ලබා දී ඕනෑ තරමක් කන ලෙස කිවූහ.

ඉස්සර ප්‍රදේශයේ සියලුම පවුල් අතර සතුටින් බෙදාහදා ගත් ඔවුන්ගේ ත්‍යාගශීලී ආගන්තුක සත්කාරය දැන් අමුත්තන්ට පමණක් සීමා වී ඇත. "ආගන්තුක සත්කාරය කියන්නේ අපේ සංස්කෘතියේ ඉතා වැදගත් අංගයක්, එක්කෝ මිනිසුන්ට ගෙදරට ආරාධනා කරනවා, නැත්නම් ඔවුන්ට ආහාර යවනවා" අපෙන් තව කන්න කන්න යැයි ඉල්ලමින් ඔවුහු පැවසූහ. “මේ දැන් පවතින අර්බුද ඔක්කොම එකතු වුණහම අපිට දැන් ඒකවත් කරගන්න බැහැ. අපිට ලැබෙන හැම දෙයක්ම අසල්වැසියොත් එක්ක බෙදා හදා ගන්න අපි පුරුදු වෙලා හිටියා. දැන් එහෙම කරන්න පුළුවන් කමක් නැහැ” යැයි ඔවුහු පවසති. මිනිසුන් තමන්ගේ බඩවියත සරිකර ගැනීමට පමණක් පවා කෙතරම් මහන්සි වෙනවාද යන්න දන්නා ප්‍රදේශයේ පන්සල්වල හාමුදුරුවරුන්ද ඔවුන්ට පවසා ඇත්තේ තමන්ට පූජා කරන දානයේ ප්‍රමාණය අඩු කරන ලෙසයි.

එක් ගොවියෙකු එක රැයකින් සිදු වූ කාබනික මාරුව අපූරු වැකියකින් සංෂිප්ත කරන ලදි. "ඒක හරියට මුළු ජීවිත කාලෙම ඉංග්‍රීසි බෙහෙත් ගත්ත කෙනෙක්ට හදිසියේම සිංහල වෙදකමට මාරු වෙන්න කිව්වා වගේ." ආහාර හිඟයෙන් ගොඩ ඒමට සහල් ඇතුළු වෙනත් ද්‍රව්‍ය කෙතරම් මෙරටට ආනයනය කළා ද යන්න ඔවුන් පෙන්වා දෙන ලදි. එම තොග ආනයනය කරන්නේ කොහෙන්ද යන්න අපට දැනගත හැකි නමුත්, ඒවා කාබනිකව වගා කර ඇත් ද, රසායනික පොහොරවලින් තොර ද යන්න අපි නොදනිමු.

ඔවුහු නිමක් නොපෙනෙන හරිත කෙත්වතු සහ පිරී ඉතිරෙන ජල ප්‍රවාහයන් දෙස දෑත දිගු කර පෙන්වති. “මොන තරම් ලස්සන, සශ්‍රීක දූපතක් ද,” ඔවුහු වැලපෙති. “අපිට මෙහෙ කොච්චර දේවල් තියෙනවද, අපිට කොච්චර දේවල් දෙන්න පුළුවන් ද, නමුත් අනිත් හැමෝටම වඩා හොඳින් අපි දන්නවා මේ රටින් පිටට මුදල් යවලා කොච්චර ආහාර, ගෑස් සහ බෙහෙත් ගෙන්නන්න ඕන ද කියලා.”

අනාගතය සම්බන්ධයෙන් ගත් කල, ඔවුන් සිටින භයානක තත්ත්වයෙන් ඔවුන්ව ගොඩ ගැනීමට ප්‍රයෝනවත් වන තරම් උපකාරයක් රජය විසින් ඔවුන්ට ලබා දෙනු ඇතැයි බලාපොරොත්තුවක් ඔවුන් සතුව නොමැති තරම්ය. “අපට වෙන්න පුළුවන් දේවල් ඔක්කොම දැනටම වෙලා ඉවරයි”, ඔවුහු පවසති.

සංඛ්‍යා දත්ත

  • හම්බන්තොට දිස්ත්‍රික්කයේ පරිපාලන කොට්ඨාස (ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස) 12ක් ඇත. 2013/14 ආර්ථික සංගණනයට අනුව මේ අතරින් විශාලතම කෘෂිකාර්මික ජනගහනය (දිස්ත්‍රික්කයේ මුළු ගොවීන්ගෙන් 11% ක්) සිටින්නේ අම්බලන්තොටයි. අප සංචාරය කළ සියලුම ප්‍රදේශ අම්බලන්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් වේ.
  • 2020/21 මහ කන්නයේ දී හම්බන්තොට දිස්ත්‍රික්කයේ සාමාන්‍ය අස්වැන්න හෙක්ටයාරයකට කිලෝග්‍රෑම් 5,883 ක් විය. 2021/22 මහ කන්නයේ අස්වැන්න අඩකින් අඩු වී ඇති බව අප කතා කළ ගොවීන්ගෙන් බහුතරයක් පවසන ලදි. තමන් සන්තකයේ තිබූ රසායනික පොහොර සංචිත තොග භාවිත කළ ඇතැම් ගොවීහු අඩු වගා හානි වාර්තා කළහ.
  • 2013/14 ආර්ථික සංගණනයට අනුව අම්බලන්තොට කොට්ඨාශයේ කෘෂිකර්මාන්තයේ නිරත පිරිමි 9,587 ක් සහ කාන්තාවෝ 1,698 ක් සිටියහ.
  • 2013/14 ආර්ථික සංගණනයට අනුව අම්බලන්තොට කොට්ඨාසයේ ගොවීන්ගෙන් 57.4% ක් වයස අවුරුදු 50 ට වැඩි අය විය. තරුණයින් කෘෂිකර්මාන්තයට යොමු වීමට අකමැති වීම, ඒ වෙනුවට ඔවුන් නගරවල, කර්මාන්තශාලාවල සහ විදේශයන්හි රැකියා තෝරා ගැනීම සම්බන්ධයෙන් චාරිකාව පුරාවට අපට පැවසුනු දෙය හා මෙය සමපාත වේ.
  • අපට හමුවූ ගොවීහු වී, මුං ඇට, මෙනේරි, අලාබු වර්ග (කරවිල, පතෝල, වැටකොළු ආදිය), මාළුමිරිස්, මිරිස් සහ ළූණු ඇතුළු විවිධ භෝග වගා කළහ. කලින් සඳහන් කළ පරිදි බොහෝ වී අලෙවි වන්නේ අතරමැදියන් හරහා ය. අනෙකුත් නිෂ්පාදන ප්‍රධාන වශයෙන් ප්‍රාදේශීය පොලවල්වල අලෙවි කෙරේ.

මෙම ලිපිය සඳහා දත්ත

DSC Paddy Data - 2020_2021Maha_Metric.pdf 60118

2013_14 Economic Census - HambantotaSH2Report.pdf 4176221