Analysis
වෙනස්වන ශ්‍රී ලංකා සිතියම/ භූ දර්ශනය: සන්නද්ධ වීමට මාධ්‍යවේදීන්ට කරන ඇරයුම
Nov 26, 2024

2021 දී, අපි Watchdog සඳහා මාර්ග සිතියමක් සකස් කළෙමු. මේ මම ඒ ගැන සංවිධානයෙන් පිට කෙනෙක් සමග කතා කරන පළවෙනි වතාව. අපේ මාර්ග සිතියමේ සවුරෝන් ව්‍යාපෘතිය (Project Sauron), එනම් කෙසේ හෝ 2017 සිට මුළු රටේම චන්ද්‍රිකා ඡායාරූප අපගේ අතට ලබා ගැනීම සඳහා පැහැදිලි හේතු තිබිණි. 

එම නිරූපණ ලබා ගැනීම සහ ඒවා අපට භාවිත කළ හැකි දෙයක් බවට පරිවර්තනය කිරීම අභියෝගයක් විය. චන්ද්‍රිකා ඡායාරූප සැකසීම ගූගල් සිතියම් වලින් තිර රූ (screenshot) ලබා ගැනීම තරම් පහසු නොවේ. වලාකුළු සහ ඒවායේ සෙවණැලි ඉවත් කිරීමේ සිට නියමිත කාල පරාසයන් තුළ ගුණාත්මක, වඩාත් නිවැරදි රූපයක් බවට පත් කිරීම සඳහා නියමිත කාල සීමාවන් තුළ එක් එක් කොටසෙහි ප්‍රමාණවත් රූප ඇති බවට වග බලා ගැනීම දක්වා පෙළගැසී ඇති සියුම් දත්ත රාශියක් ඇත.

මෙම වසරේ, අපගේ අරමුදල් සපයන සංවිධාන සහ යුරෝපීය අභ්‍යවකාශ ඒජන්සියේ සෙන්ටිනල්-2 ව්‍යාපෘතියේ සහාය ඇතිව, අපට ඇත්ත වශයෙන්ම එම ප්‍රහේලිකාව සම්පූර්ණ කිරීමට හැකි විය. අපි 2017 සිට 2024 දක්වා අපි විසින් සම්පාදනය කරන ලද ශ්‍රී ලංකාවේ සිතියම් ඒවායේ සියලු ආකාරවලින් ප්‍රසිද්ධ කරන්නෙමු. මෙතැනින් පිවිසෙන්න: https://github.com/team-watchdog/satellite2024

එම රූප සටහන් පැහැදිලිවම අප සතුව ඇති මුල් දත්ත වලට වඩා අඩු විභේදනයන් සහිත රූප සටහන් වේ. සාමාන්‍යයෙන් අප සතුව ඇති එක් වසරක රූප සටහන් ගිගාබයිට් 6කට වඩා වැඩි විය හැක. මේවා JPEG වර්ගයෙහි අධි-විභේදන රූප සටහන් වන අතර, ඔබට ඒවා ඔබගේ උපාංග හරහා ලෙහෙසියෙන් විවෘත කිරීමට හැකි වන පරිදි පරිමාණය කර ඇත.

භූ දර්ශනයකට මිනිසුන් විසින් කළ හැකි බලපෑම් පිළිබඳ වූ යථාර්ථය ඔබ කවදා හෝ සැක කළේ නම්, මෙම චන්ද්‍රිකා ඡායාරූප ඔබට මෙය ඒත්තු ගන්වනු ඇත. මේ පිලිබඳ වූ සාක්ෂි අපගේ භූ දර්ශන හරහා පෙන්නුම් කර තිබේ. මන්නාරම් වෙරළ ඛාදනය වසරින් වසර පෙනෙන්නට ඇති අතර, වෙරළ තීරය තවදුරටත් ඛාදනය වෙමින් පවතී. මධ්‍යම කඳුකරයේ වෙල්යායන් ක්‍රම ක්‍රමයෙන් විස්තාරණය වීමත් සමග වෙනස් වන වෘක්ෂලතා රටා.

පික්සලයෙහි බලය

අප රටේ චන්ද්‍රිකා ඡායාරූප පිලිබඳ මාස ගණනක අධ්‍යනයකින් පසු, මට අවම වශයෙන් දැවෙන ගැටළු පහක්වත් හඳුනාගත හැකිය. මේවා වියුක්ත දත්ත පමණක් නොවේ;  ඒවා අපගේ භූ දර්ශන හරහා පෙන්වන වෙනස්කම්, ඝට්ටන සහ බලාපොරොත්තුව පිළිබඳ ආඛ්‍යාන වේ.

පළමු සංසිද්ධිය සංචාරක ව්‍යාපාරය සහ එහි පිරිවැය වටා ය. වසරින් වසර, නිවාඩු නිකේතන සහ සංචාරක යටිතල පහසුකම් තුලින් අපගේ වෙරළ තීරය වැනසෙන ආකාරය මට දැක ගැනීමට හැකි වුනි. කලක් මන්දගාමි ස්වරුපයක් ගත් ධීවර ගම්මානයක් වූ මිරිස්ස ප්‍රදේශයේ, මට මුහුදු මායිම දක්වාම ලැගුම්හල් සහ ආපනශාලා ලකුණු කර ගත හැක. චන්ද්‍රිකා දත්ත බොරු නොකියයි  - අපගේ දියුණු වෙමින් පවතින සංචාරක කර්මාන්තය අපගේ වෙරළ තීරය වෙනස් කරමින් සිටින අතර බොහෝ විට ඒ හරහා දේශීය ධීවර ප්‍රජාවන්ට බලපෑම් එල්ල වේ.

නමුත් එය සුන්දර වෙරළ තීරයන් ගැන පමණක් නොවේ. ජාතියක් ලෙස අප විසින් සිදු කළ යුතු තේරීමක් මෙම රූපරාමු වලින් පෙන්වයි. අපට අවශ්‍ය සංචාරක ව්‍යාපාරය හරහා කෙටි කාලීනව ඩොලර් ඉපැයීමේ ක්‍රමයක් ද නැතහොත් දිගුකාලීන පාරිසරික තිරසාරත්වයක් ද? පිළිතුර එතරම් සරල නැත, නමුත් අප සිදු කරන ලද තේරීම් වල ප්‍රතිවිපාක වෙරළ තීරයෙන් පෙන්වා දී ඇත - මෙය අභ්‍යවකාශයේ සිට දෘශ්‍යමාන වේ.

කෘෂිකර්මාන්තයට ඇති බලපෑම දෙවැන්නයි. අපේ කෘෂිකාර්මික හදබිම් අනුවර්තනය වීම පිලිබඳ වූ කථාවක් ගෙන හැර දක්වයි. එය සමහර විට බලාපොරොත්තු සුන් වූ තත්ත්වයක් ද පෙන්වයි. කුඹුරු යායන් ගෙන් සමන්විත වූ පොළොන්නරුව සහ අනුරාධපුරය තුළ, මම විවිධ ආකාරයෙන් සිදු වී ඇති වෙනස්වීම් නිරීක්ෂණය කළෙමි. මෙය දේශගුණික විපර්යාසවලට අනුවර්තනය වීම, ආර්ථික පීඩනය සහ සමහර විට ඉඩම් අත්පත් කර ගැනීම් පිළිබඳ වූ දෘශ්‍ය වාර්තාවක් ලෙස පෙන්නුම් කරයි. අපගේ ආහාර සුරක්ෂිතතාව නව යථාර්ථයන්ට අනුවර්තනය වන ආකාරය හෝ අනුවර්තනය වීමට අපොහොසත් වන ආකාරය මෙම රූපරාමු තුලින් අපට පෙන්වයි.

බොහෝ සැලකිලිමත් විය යුතු කොටස් වන්නේ දුඹුරු පැහැති ප්‍රදේශයි. මේවායින් පෙන්නුම් කරන්නේ වගා අසාර්ථකත්වය සහ ග්‍රාමීය සිට නගරයට සංක්‍රමණය වීම හේතුවෙන් අතහැර දැමූ කෙත්වතු ය. අපගේ වෙනස්වන කෘෂිකාර්මික භූ දර්ශනය, අපගේ ග්‍රාමීය ප්‍රජාවන්ගේ සෞඛ්‍යය සහ අපගේ ආහාර සුරක්ෂිතතාවය සඳහා වන බැරෝමීටරයයි (පීඩනමානයයි).

තුන්වැන්න සංවර්ධනය වටා සිදුවන අතර; විශේෂයෙන්ම පොරොන්දු සහ ප්‍රගතිය අතර ඇති පරතරයන් හුවා දක්වයි. අපේ දේශපාලනඥයන් නව මහාමාර්ග, කර්මාන්ත කලාප, වරාය නගර වැනි විශාල යටිතල පහසුකම් ව්‍යාපෘති පිලිබඳ පොරොන්දු ලබා දීමට බොහෝ ඇලුම් කරයි. චන්ද්‍රිකා වලින් ලබාගන්නා ඡායාරූප අපට මේ ලබා දී ඇති පොරොන්දු, සැලසුම් මට්ටමේ සිට යථාර්ථය දක්වා නිරීක්ෂණය කිරීමට අවස්ථාව ලබා දෙයි.චන්ද්‍රිකා වලින් ලබාගන්නා වාර්තා අපට මෙසේ ඇසීමට ඉඩ සලසයි: අපට පොරොන්දු වූ දේ අපට ලැබෙනවාද? එය නියමිත වේලාවට ලබාදී තිබෙනවාද? සහ ඒ කුමන තත්ත්වයන් යටතේදීද?

හතරවැන්න අපි අපේ නගර ගොඩනඟන ආකාරය වටා ය. කුරුඳුවත්තේ සශ්‍රීක වියන් කොම්පඤ්ඤවීදියේ කොන්ක්‍රීට් විස්තාරණයට සම්පූර්ණයෙන්ම ප්‍රතිවිරුද්ධයි. එය නොසලකා හැරිය නොහැකි නාගරික අසමානතාවයේ දෘශ්‍ය නිරූපණයකි.

නමුත් මෙවැනි සංසිද්ධීන් ඕනෑ තරම් තිබේ. වසර ගණනාවක් පුරා සිදු වූ වෙනස්කම් දෙස බලන විට, නගර පුළුල් වන්නේ කෙසේද සහ කොතැනද - සහ ඒ සමඟ ඇති අභියෝග මොනවාදැයි අපට දැක ගත හැකිය. මගේ පුද්ගලික අවධානය දිගු වන්නේ අපේ නගර තුළ හරිත අවකාශයන් නොමැතිකමටයි, නමුත් පවතින බොහෝ අභියෝග සහ ඒවා වටා මිනිසුන් පෙලගැසෙන ආකාරය ගැන ඕනෑ තරම් නිරීක්ෂණය කල හැකිය. එය සංවර්ධනය සම්බන්ධයෙන්, හොඳට හෝ නරකට, අපගේ තේරීම් කාලයත් සමග වෙනස් වන්නේ කෙසේදැයි නැරඹීමට සමාන ය.

අවසාන වශයෙන්, අපේ වනාන්තරවල තත්ත්වය. විල්පත්තු ජාතික වනෝද්‍යානය අවට ස්වාරක්ෂක කලාපවල, අලුත් කෘෂිකාර්මික සහ ජනාවාසවල ජ්‍යාමිතික රටා සමඟ වනාන්තරයේ කොටස් කෙමෙන් කෙමෙන් වියැකී යන ආකාරය මම නිරීක්ෂණය කළෙමි. 

එහෙත්, වගවීම වෙනුවෙන් චන්ද්‍රිකා ඡායාරූප ප්‍රබල මෙවලමක් බවට පත්වන්නේ මෙහිදීය. මෙම වෙනස්කම් ඉඩම් පරිහරණ ප්‍රතිපත්ති සහ කාර්මික වර්ධනයන් සමඟ සහසම්බන්ධ කිරීමෙන්, අපට පාරිසරික රෙගුලාසිවල ඇති විය හැකි උල්ලංඝනයන් නිවැරදිව හඳුනාගත හැකිය.

සන්නද්ධ වීමට කරන ඇරයුම

ශ්‍රී ලංකාව මුහුණ දෙන පාරිසරික අභියෝග සංකීර්ණ වන අතර ආර්ථික සංවර්ධනය, දේශපාලන තීරණ සහ සංස්කෘතික භාවිතයන් සමඟ බද්ධ වී ඇත. ඒවා හරිහැටි පැහැදිලි කිරීමට මාධ්‍යවේදීන් ලෙස අප ද මීට වඩා හොඳින් කටයුතු කළ යුතුය. අපි තව තවත් දෘශ්‍ය ආකාරවලින් පැහැදිලි කර ගවේෂණය කළ යුතුයි; නිකම්ම යමක් කියනවාට රූප හරහා පෙන්විය යුතුයි.

රූප දෙස බැලීම පමණක් උදවු වන්නේ නැත. අභ්‍යවකාශයේ සිට වන විනාශයක් ලෙස පෙනෙන දේට පොළොව මට්ටමේ වෙනත් පැහැදිලි කිරීමක් තිබිය හැකිය. දැඩි කරුණු පරීක්ෂා කිරීම සහ බිම් මට්ටමේ තොරතුරු සත්‍යාපනය අත්‍යවශ්‍ය වේ. විභව කථා පෙන්වා දීම සඳහා මෙවැනි චන්ද්‍රිකා ඡායාරූප විශිෂ්ටයි; ඒ සඳහා අපි තවමත් මූලික වැඩකටයුතු සිදු කළ යුතුයි. චන්ද්‍රිකා ඡායාරූප යනු මෙවලම් පෙට්ටියක ඇති එක් මෙවලමකි, නමුත් එය අපට විශාල වෙනස්කම් ඉස්මතු කිරීමට ඉඩ සලසන එකකි: අපි ඒ දෙස වඩාත් සමීපව බැලිය යුතුයි. ශ්‍රී ලංකාවේ පාරිසරික වාර්තාකරණය තුලින් ප්‍රබල බලපෑමක් ඇති කිරීමට පදනම් වන්නේ ප්‍රතිපත්ති හා භාවිතය අතර, ආර්ථික වර්ධනය හා පාරිසරික සංරක්ෂණය අතර සහ දේශීය ක්‍රියාකාරකම් හා ගෝලීය ප්‍රතිවිපාක අතර පවතින පුරුක් යා කිරීම තුලින්ය. අපි මේ සදහා මූලික ආරම්භයක් ලබා ගෙන තිබෙනවා. පුළුල් පුනරාවර්තන දෙකක්, හරිත මරණය I සහ II යන මාතෘකා යටතේ, ඉතා පුළුල් ලෙස අංශ කිහිපයක් ඔස්සේ ගවේෂණය කරයි. තවත් කළ යුතු දේ බොහොමයක් තිබෙනවා.

අපට කිව හැක්කේ කුමන ආකාරයේ සංසිද්ධින්ද?

අපේ වනාන්තර: වැටලීම සහ මන්දගාමී මරණය පිළිබඳ කතාවක්

අපේ රටේ ජෛව විවිධත්වයේ මුදුන් මල්කඩ වන සිංහරාජය වටලා ඇත. සෑම වසරකම, එහි මායිම්වලට ඉතා සමීපව මාර්ග ඉදිකිරීම, ආක්‍රමණශීලී විශේෂයන් මෙන් හෝටල් ඉදිවීම සහ වනාන්තර මායිම සෙමෙන් පහව යන බව අපට අසන්නට ලැබේ. එය පාරිසරික නීති වල ඇති හිඩැස්, දූෂණය "සංවර්ධනය" නමැති රෝදයට චලනය වීමේ සාධකයක් වී ඇති ආකාරය සහ වාර්ෂික අමුත්තන් 30,000 ක බරකින් යුත් සියුම් පරිසර පද්ධතියක් පිළිබඳ කතාවකි.

එහෙත් මේ අවාසනාවන්ත තත්ත්වයට ගොදුරු වී ඇත්තේ සිංහරාජය පමණක් නොවේ. කන්නෙලිය - දෙදියගල - නාකියාදෙණිය (KDN) සංකීර්ණය සහ නකල්ස් රක්ෂිතය, සිංහරාජය මෙන් සෙමෙන් පිරිහීම පිළිබඳ එවැනිම වූ සංසිද්ධියන් වේ. කාලානුරූපී රූපරාමු හරහා, මට යම් කලකට ඉහතදී තිබූ නිර්මල ස්වාභාවික ප්‍රදේශ, පාරවල් කපා තිබීම තුලින් ඇතිවී තිබෙන වනජීවී වාසස්ථානවල ඛණ්ඩනයන් සොයා ගැනීමට හැකි විය. මා විසින් කෘෂිකාර්මික ඉඩම් වනාන්තර මායිම් අභිබවා ගිය අවස්ථා ද සිතියම්ගත කර ඇත.

අපි තවත් ගැඹුරට මෙය අධ්‍යනය කල යුතුයි. මේ වනාන්තර සූරාකෑමෙන් ඇත්තටම වාසි ලබන්නේ කවුරුන්ද? මෙම ප්‍රදේශ යලි යථා තත්ත්වයට පත් කිරීමට හැකි යැයි පවසන රාජ්‍ය-පෞද්ගලික හවුල්කාරිත්වය කෙතරම් ඵලදායීද? චන්ද්‍රිකා දත්ත - සමහර විට ඩ්‍රෝන් ඡායාරූප - වාර්තාකරණය සමඟ ඒකාබද්ධ කිරීමෙන්, අපට පාරිසරික පොරොන්දු සහ අභ්‍යවකාශයෙන් පෙනෙන කටුක යථාර්ථය අතර පරතරය හෙළි කළ හැකිය.

හරිත විප්ලවයේ සැඟවුණු බලපෑම්

2018 සිට 2024 දක්වා කිලිනොච්චියේ සිදුවුණු පරිවර්තනය විශිෂ්ටයි - මානව දක්ෂතාවය සහ නොපසුබට උත්සාහය පිළිබඳ එය සැබෑ සාක්ෂියකි.නමුත් කලින් ලඳු කැලෑව තිබූ ප්‍රදේශය වෙනුවට ඇති සශ්‍රීක කෘෂිකාර්මික බිම් දෙස බැලූ විට මට දැනුනු කාරණාවක් නම්, මේ වෙනස වටිනවාද යන්නයි?

චන්ද්‍රිකා ඡායාරූප මගින් නොගැලපෙන ලක්ෂ දෙකක් අතර සම්මුතීන් පිලිබඳ වූ සංකීර්ණ කතාවක් හෙළිදරව් කරයි. ඔව්, අපි දකිනවා ආහාර නිෂ්පාදනය වැඩි වී ඇති ආකාරය. නමුත් ස්වාභාවික වෘක්ෂලතාදිය අතුරුදහන් වීම, ජල කඳන් වෙනස් වීම සහ එක් කලෙක වනගත ප්‍රදේශ වලට මිනිස් ජනාවාස ව්‍යාප්ත වීම ද අපට පෙනේ. අපි කෙටි කාලීන ආහාර සුරක්ෂිතතාව සඳහා දිගුකාලීන පාරිසරික සෞඛ්‍යය වෙළඳාම් කරනවාද

මෙම පරිවර්තනය පිටුපස සිටින පුද්ගලයින් ගැන කුමක් කිව හැකිද? චන්ද්‍රිකා ඡායාරූප මගින් අපට වෙනස්වන භූ දර්ශනය පෙන්විය හැක, නමුත් අප මෙය මානව කතා සමඟ ඒකාබද්ධ කළ යුතුය. කිලිනොච්චියේ ගොවීන්ගේ ජීවිත වෙනස් වී ඇත්තේ කෙසේද? මෙම කෘෂිකාර්මික නැගී ඒම වඩා හොඳ ජීවනෝපායන් බවට පරිවර්තනය වී තිබේද, නැතහොත් පැරණි සූරාකෑමේ රටාවන් පුනරාවර්තනය වීමක් අපි දකින්නේද?

තෙත්බිම් අර්බුදයක: ආනවිලුන්දාව අනතුරු ඇඟවීම

ආනවිලුන්දාව තෙත්බිම් අර්බුදය, අවදානමට ලක්විය හැකි පරිසර පද්ධති මානව ක්‍රියාකාරකම් තුලින්වි නාශ විය හැකි ආකාරය පෙන්නුම් කරන ප්‍රබල සිහිගැන්වීමකි. ඉහත සිට, මෙම RAMSAR පිහිටීම සශ්‍රීක, ජල-පෝෂිත භූ දර්ශනයක සිට එහි පෙර තිබූ තත්වයේ වියළි සෙවනැල්ලක් දක්වා පරිවර්තනය වන ආකාරය මම බලා සිටියෙමි. වැරදිකරු? ස්වභාවික තෙත්-වියළි චක්‍රය කඩාකප්පල් කරමින් වසර පුරා සිදුවන ගොවිතැන් පිළිවෙත්.

මෙය හුදෙක් පාරිසරික ඛේදවාචකයකට වඩා එහා ගිය දෙයකි - මෙය මුළු රටටම අනතුරු ඇඟවීමක් ලබා දෙයි. චන්ද්‍රිකා ඡායාරූප ප්‍රවේශමෙන් විශ්ලේෂණය කිරීමෙන්, බිම් මට්ටමේ වාර්තාකරණයන් සමඟ ඒකාබද්ධව, අපට ප්‍රබල බහුමාධ්‍ය ආඛ්‍යානයක් නිර්මාණය කළ හැකිය. දේශීය ගොවීන් සහ පරිසරවේදීන් සමඟ සම්මුඛ සාකච්ඡා සමඟ තෙත් බිමේ පරිවර්තනය පෙන්නුම් කරන කාලානුරූපී වීඩියෝ පිලිබඳ සිතන්න. කෘෂිකාර්මික හා තෙත්බිම් සහජීවනයට ඉඩ සලසන තිරසාර ගොවිතැන් පිළිවෙත් අපට ගවේෂණය කළ හැකි අතර, සැබෑ යථාර්ථය සමඟ විසඳුම් ඉදිරිපත් කළ හැකිය.

නාගරික උෂ්ණාධික දූපත්: අපේ නගරවල උෂ්ණත්වය

අපේ නගර වර්ධනය වන විට, ඒවා වචනාර්ථයෙන්ම උණුසුම් වෙමින් පවතී. කොළඹ සහ අනෙකුත් නාගරික මධ්‍යස්ථානවල තාප චන්ද්‍රිකා රූපරාමු මගින් සැලකිලිමත් විය යුතු ප්‍රවණතාවක් හෙළි කරයි: එනම් අවට ප්‍රදේශවලට වඩා උෂ්ණත්වය ඉහළ යන විට උෂ්ණාධික දූපත් ප්‍රසාරණය වීමයි. මෙය පහසුව පිලිබඳ ප්‍රශ්නයක් පමණක් නොවේ - මෙය ගොඩ නැගීගෙන එන මහජන සෞඛ්‍ය අර්බුදයකි.

අපගේ ප්‍රධාන නගරවල අන්තර්ක්‍රියාකාරී තාප සිතියම් නිර්මාණය කිරීමට අපට මෙම චන්ද්‍රිකා දත්ත භාවිතා කළ හැකිය. එමගින් කාලයත් සමඟ උෂ්ණත්වය වෙනස් වී ඇති ආකාරය අධ්‍යනය කිරීමට පාඨකයන්ට ඉඩ සලසයි. ඇත්ත වශයෙන්ම, අපි "ඇවිදීමට නොහැකි නගරය" ලෙස නම් කර ඇති මෙම ලිපියෙහි මීට සමාන දෙයක් උත්සාහ කළෙමු. එහිදී අපි ශාස්ත්‍රීය අධ්‍යයනයන්  සහ භූමියේ උෂ්ණත්වය පිළිබඳ අපගේ කියවීම් යන දෙකම භාවිතා කළේ සෙවන නොලබන පදික වේදිකාවන් උණුසුම් වන ආකාරය පෙන්වීමටයි (එය සාමාන්‍යයෙන් සෙල්සියස් 56 සහ ඊට වැඩි විය!). හරිත අවකාශය අහිමි වීම සහ සංවර්ධන රටා පිළිබඳ දත්ත සමඟ මෙය ආවරණය කිරීමෙන්, අපරික්ෂාකාරී නාගරීකරණයේ ප්‍රතිවිපාක පිළිබඳ ප්‍රබල කතාවක් අපට පැවසිය හැකිය. නමුත් අපි ගැටලුව හඳුනාගැනීමෙන් නතර නොවිය යුතුය. අපගේ නගර සැලසුම්කරුවන්ට සහ ප්‍රතිපත්ති සම්පාදකයින්ට වඩා හොඳින් ක්‍රියා කිරීමට අභියෝග කරමින් අපට ලොව පුරා නව්‍ය නාගරික උෂ්ණත්ව අවම කිරීමේ විසඳුම් ප්‍රදර්ශනය කළ හැකිය. චන්ද්‍රිකා ඡායාරූප අපට රෝග විනිශ්චය ලබා දෙයි; දැන් එළඹ ඇත්තේ ප්‍රතිකාරය නියම කිරීමට කාලයයි.

සැලසුම්කරණයේ සිට ක්‍රියාමාර්ගය දක්වා: පාරිසරික නීති පරතරය

නීත්‍යානුකූල ලියකියවිලිවල දකින ශ්‍රී ලංකාව අභ්‍යවකාශයේ සිට මා දකින ශ්‍රී ලංකාවට එතරම් සමානකමක් නැත. කෙටුම්පත් වල අපට පාරිසරික ආරක්ෂණ ඇත, නමුත් චන්ද්‍රිකා ඡායාරූප පවසන්නේ වෙනස්ම කතාවක් - දිගින් දිගටම සිදුවන වන විනාශය, පාලනයෙන් ගිලිහුණු සංවර්ධනය සහ පරිසර පද්ධති හායනය.

මෙය නීතිය සහ යථාර්ථය අතර ඇති පරතරය ගැඹුරින් අධ්‍යනය කිරීමට ඇති අවශ්‍යතාවය පෙන්වා දෙයි. ප්‍රධාන පාරිසරික ආයතනවල කාර්ය මණ්ඩලය සහ සම්පත් වෙන් කිරීම පිළිබඳව අප විමර්ශනය කළ යුතුයි. පාරිසරික බලපෑම් තක්සේරු කිරීමේ ක්‍රියාවලිය අප නිරීක්ෂණය කළ යුතුය - කොපමණ ප්‍රමාණයක් අත්හැර දමා හෝ නොසලකා හැර තිබේද? වැදගත්ම දෙය නම්, පාරිසරික තීරණ ගැනීමේදී දේශපාලනික බලපෑමද අප විසින් විමසා බැලිය යුතුය.

පාරිසරික හායනය පෙන්නුම් කරන චන්ද්‍රිකා ඡායාරූප, නොසලකා හරින ලද රෙගුලාසි සහ දේශපාලන මැදිහත්වීම් පිළිබඳ තහවුරු වූ සාක්ෂි මත පදනම් වූ ක්‍රියාමාර්ගයක් සමග ඒකාබද්ධ කිරීම පිළිබඳව සිතන්න. සැබෑ වෙනසක් ඇති කළ හැකි ගවේෂණාත්මක වාර්තාකරණය එයයි.

Acknowledgements

This work was created by Watchdog Sri Lanka (Appendix) as a part of the project Building Tools to Strengthen Pluralist, Inclusive and Fact-based Public Discourse, conducted by LIRNEasia. LIRNEasia (www.lirneasia.net) is a pro-poor, pro-market regional digital policy think tank. The project is conducted in partnership with the Strengthening Social Cohesion and Peace in Sri Lanka (SCOPE) programme, co-funded by the European Union and German Federal Foreign Office. SCOPE is implemented by GIZ in partnership with the Ministry of Justice, Prisons Affairs and Constitutional Reforms.