Analysis
හරිත මරණය, දෙවැනි කොටස
Nov 26, 2024

වනාන්තර හමුවෙමු 

බේරුවලට කෙළින්ම නැගෙනහිරින් සිතියමේ තද කොළ පැහැති කැළලක් ඇත: ඒ සිංහරාජයයි. එය බොහෝ දුරට නිකම්ම වාගේ තිබෙන අතර, යමෙකු වන විනාශය ගැන කලබල කරන විට ඉඳහිට ප්‍රවෘත්ති චක්‍රය තුළ මතු වේ. එය ශ්‍රී ලංකාව සඳහා වන සාමාන්ය ප්රචාරණ පණිවිඩයේ කොටසකි - වැසි වනාන්තර! ස්වභාවධර්මය! මංපෙත්! සෆාරි! ලෝක උරුම අඩවිය!

නමුත් කනගාටුවට කරුණක් වන්නේ සිංහරාජයට ලැබෙන අවධානය කෙටි වීමයි. පාරිසරික නීතියේ හිඩැස්, දුර්වල ක්‍රියාත්මක කිරීම, දූෂණය, නිසි පාරිසරික බලපෑම් තක්සේරු කිරීම් නොමැතිව හෝටල් සහ මාර්ග ඉදිකිරීම සහ එහෙන් මෙහෙන් නීති විරෝධී සම්පත් නිස්සාරණය කිරීම සිංහරාජය විවාදයට ලක් කර ඇත: සිංහරාජයේ කුඩාව පිවිසුමට පැමිණෙන වාර්ෂික සංචාරකයන්  30,000ක් හෝ ඊට වැඩි ප්‍රමාණයකින් අපි අමතර මුදලක් උපයා ගත යුතුද, නැතහොත් ගස්වලට, කුරුල්ලන්ට සහ තිරිසනුන්ට ඔහේ ජීවත්වීමට ඉඩ දිය යුතුද?

ශ්‍රී ලංකාවේ දුෂ්කර කාලයක් ගත කරන එකම වනාන්තරය සිංහරාජය නොවේ. එයට පහලින් වන කන්නෙලිය - දැඩියාගල - නාකියාදෙණිය (KDN) වන සංකීර්ණය තවත් එකකි. ජනගහන පීඩනය සහ විශාල හා කුඩා තේ වතු ප්‍රසාරණය කිරීමෙන් ඇති වූ නිරන්තර බලපෑම නිසා, හායනය වූ වැසි වනාන්තරයක් ලෙස  KDN [4] මේ වන විට සලකයි. දැන් KDN සහ දහසක් කප්පාදු නිසාවෙන් සිදුවන මන්දගාමී මරණයක් අතර මේ වන විට පවතින්නේ ජෛව විවිධත්ව ශ්‍රී ලංකා සංවිධානය වැනි රාජ්‍ය-පෞද්ගලික හවුල්කාරිත්වන් හරහා හෙක්ටයාර 12ක බිම් කඩක් ප්‍රතිෂ්ඨාපනය කිරීමට දරන ප්‍රයත්නයන් පමණක් බව පෙනේ [5][6].

නකල්ස් වනාන්තර රක්ෂිතයේ (KCF) තත්ත්වය වඩාත් නරක ය: එහි නීතිවිරෝධී දැව කැපීම සහ වන විනාශය සිදුවේ; විශේෂයෙන්ම තේ සහ එනසාල් වගා භාවිතයන් මතුපිට පස් විනාශ කරන විට සහ වන ආවරණය විනාශ කරන විට සිදුවන කෘෂිකාර්මික පීඩනය. මාර්ග ඉදිකිරීම වනජීවී කොරිඩෝ සහ ක්ෂුද්‍ර දේශගුණයට බාධා කරයි; ජලය අධික ලෙස නිස්සාරණය කිරීම - අප දන්නා පිරිසුදු නකල්ස් ඛනිජ ජලය - ජල මූලාශ්‍රවලට තර්ජනයක්. ඊට අමතරව නියාමනය නොකළ සංචාරක ව්‍යාපාරයෙන් ලාභ ලැබීම සඳහා අරඹා ඇති කුඩා පරිමාණයේ නිකේතන තිබේ - AirBnb සේවාව ලබා දෙන අඩු වියදම් නවාතැන්පලවල් සිට යෝධ අපද්‍රව්‍ය කළමනාකරණ ගැටලුව දක්වා මෙය ක්‍රමයෙන් ගොඩනැගෙමින් පවතී.

ඔබට ප්‍රවෘත්තිවල නකල්ස් ගැන බොහෝ දේ අසන්නට ලැබෙන්නේ නැත, නමුත් ඒ බොහෝ විට එය පිලිබඳ ඇති අධ්‍යනයේ අඩුවක් නිසා විය හැකිය. මේ පිලිබඳ හොඳම විමර්ශනය වූයේ 2018 [8] වන අතර, එතැන් සිට “සංචාරක වටිනාකම් දාම විශ්ලේෂණය” පිලිබඳ බොහෝ අධ්‍යයන ප්‍රමාණයක් ඇති බව පෙනෙන අතර, අතරින් පතර තිරසාරත්වය පිළිබඳ අධ්‍යයනයන් පවතී. [10]. 

නකල්ස් ආසන්නයේ ඇති කළුගල ප්‍රදේශයේද සංචාරක ව්‍යාපාරය හැර එවැනිම ප්‍රශ්න ඇත: මතුපිට පස් වලට හානි කිරීමට ප්‍රසිද්ධ තේ වගාවන් වසරින් වසර වන ආවරණයේ මුහුණුවර සෙමෙන් වෙනස් කිරීම [11] - නමුත් කළුගල අධ්‍යනය කර ඇත්තේ නකල්ස් වලට වඩා අඩුවෙනි.

තෙත් කලාපයේ තවත් තීරණාත්මක වැසි වනාන්තරයක් වන යගිරල, කෘෂිකාර්මික කටයුතු සහ අනවසර දැව කැපීම් නිසා තර්ජනයට ලක්ව ඇති අතර, ශ්‍රී ජයවර්ධනපුර සහ කැලණිය විශ්ව විද්‍යාල එම ස්ථානය බේරා ගැනීමට උත්සාහ කරන අතර, කොමර්ෂල් බැංකුව පවා ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය සමඟ එක්ව වැඩ කරයි.  [12][13][14].

අපගේ කෙටි ලැයිස්තුවේ අවසාන වශයෙන් ඇත්තේ ආනවිලුන්දාව තෙත්බිම් පරිසර පද්ධතියයි. ශ්‍රී ලංකාවේ RAMSAR තෙත්බිම් හයෙන් එකක් වන එය දැවැන්ත කුරුළු අභයභූමියකි. නමුත් මේ වචන උද්දීපනය කරන ප්‍රසන්න වනාන්තරය වෙනුවට වර්තමානයේ එය උණුසුම් වියළි නිරයකි.

වසර පුරා ගොවිතැනට සම්බන්ධ වන විනාශය බරපතල වාසස්ථාන කඩාවැටීම සැලකිලිමත් විය යුතු කාරනාවක් බව මතු කර ඇත. ප්‍රදේශයේ වාරි කර්මාන්තය සඳහා වැව් නවයක් ඇත. තෙත් බිම ස්වභාවික රටාවකට තෙත්වීමට සහ වියළීමට ඉඩ දෙනවා වෙනුවට, ගොවීන් වසර පුරා වැව් පද්ධතිය සක්‍රීයව තබා ගනිමින් කුඹුක් ගස් හා කඩොලාන යට කරමින් - අවසානයේ ඒවා මරා දමමින් සිටිති. ආනවිලුන්දාව සහය කඩොලාන ස්වභාවික පුනර්ජනන ව්‍යාපෘතිය පරිසර පද්ධතිය ප්‍රතිෂ්ඨාපනය කිරීමට ප්‍රමාණවත් තරම් කඩොලාන සිටුවීමේ ක්‍රියාවලියෙන් ටිකෙන් ටික ඈත්වී ඇති බව පෙනේ, නමුත් එය සුදු හුනු ගෑමට ක්‍රමයක් නැත: අපි එයට නරක ලෙස හානි කර ඇත්තෙමු. [15][16][17]

අවංකවම, අභ්‍යවකාශයේ සිට බලන විට, එය රක්ෂිත වනාන්තරයක් විය යුතු බව කීමට පවා අපහසුය

සන්දර්භය තුළ

මෙහි මහා බලවේග දෙකක් ක්‍රියාත්මක වේ. පළමුවැන්න නම්, අපි අපේ වනාන්තරවලට හානි කරන බවක් පෙනෙන්නට තිබුණත්, ශ්‍රී ලංකාව තවමත් ඉතා හරිතවත් රටක් වන අතර, එය එලෙසම ආරක්ෂා කිරීමට අපට යම් වගකීමක් ඇති බව පෙනේ. එය ලෝකයට ඇති යම් වගකීමක් නිසා නොවේ, නමුත් මේ රට නිවහන යැයි කියන ජීවීන්ට ජීවත් වීමට ඇති තැනක් නිසා වෙනි. 

දෙවන බලවේගය ජීවනෝපායන් ය. මේ සියල්ලේ පොදු තේමාව වන්නේ මිනිසුන් ජීවත් වීමට ප්‍රමාණවත් ආදායමක් සෙවිය යුතු බවත්, පැහැදිලි නීති සහ ක්‍රියාත්මක කිරීම් නොමැති බැවින්, ඔවුන් තමන්ට හැකි ඕනෑම ක්‍රමයක් ඒ සඳහා භාවිතා කරන බවත්ය.

ඇත්ත වශයෙන්ම, සංවාදයේ මෙම සුවිශේෂ පැතිකඩ හි අංග දෙකක් තිබේ. එක් අංගයක් නම් තණ්හාවයි. ‘පරිසර හිතකාමී සංචාරක ව්‍යාපාරය’ මුවාවෙන් නම්‍යශීලි නොවන සහ වගකීම් විරහිත සංචාරක ව්‍යාපාරයන් ප්‍රවර්ධනය කරනු ලැබේ. දුර්වල සැලසුම්කරණය සහ කසල බැහැර කිරීම්, නිසි පාරසරික ඇගයීම් සහ නිසි බලපත්‍ර නිකුත් කිරීම් වැනි අත්‍යවශ්‍ය පොදු සේවාවන්හි දුර්වල පැවැත්ම, වේගවත් මුදල් ඉපයීම වෙනුවෙන් මන්දගාමී ව්‍යසනයකට තුඩු දෙන සාධක වේ. මෙය තණ්හාවයි. 

අනෙක් පැත්ත අංගය නම්, බොහෝ ශ්‍රී ලාංකිකයන්ගේ පැවැත්ම සඳහා අප ලබා දෙන්නේ  ශක්‍ය මාර්ග අතලොස්සක් පමණක් බව පෙනේ - එයින් ඇඟවෙන්නේ අවට පරිසරයෙන් ඔබට හැකි ඕනෑම දෙයක් පැවැත්ම සඳහා ගත යුතු බවයි. ආනවිලුන්දාව ඊට කදිම නිදසුනකි. ගසක් සහ ඔබේ පවුලේ පැවැත්ම අතර තෝරා ගැනීමට ඔබට බල කෙරෙන්නේ නම්, ඔබේ තේරීම කුමක්ද?

සංකීර්ණ ගැටලු මධ්‍යයේ වුවද, අපගේ වනාන්තර කළමනාකරණය කිරීමට අප බොහෝ දුරට සමත් වී ඇත. ඇත්ත වශයෙන්ම, අපේ වනාන්තර බොහෝ දුරට සමෘද්ධිමත් වී ඇත්තේ ස්වාධිනවය. මම රටින් පිටව ගොස් ආපසු එන සෑම අවස්ථාවකම මම මුලින්ම අත්විඳින්නේ ඒ හරිතවත් බාවයයි.

මෙය හුදෙක් හැඟීමක් නොවේ. එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය (FAO) 1946 සිට වසර 5 සිට 10 දක්වා කාල පරතරයකින් ලෝකයේ වනාන්තර නිරීක්ෂණය කරමින් සිටි. ඔවුන්ගේ දත්තවලින් පෙන්වා දෙන්නේ, අප මෙහි සදහන් කළ සියලු හානියන් තිබියදීත්, සමස්තයක් ලෙස ගත් විට එය විසදුමක් සෙවිය නොහැකි ගැටළුවක් නොවන බවයි; 2010 ට වඩා 2020 දී වන ආවරණය හෙක්ටයාර ප්‍රමාණයකින් වැඩි වී ඇත. අප තවමත් 1990 මට්ටමට ළඟා වී නොමැති වුවත්, දැවැන්ත නාගරීකරණය (සහ නාගරික සහ අවට ප්‍රදේශවල ඇති හරිත අවකාශයන්ට ඇති බලපෑම) මධ්‍යයේ වුවද, අපි නැවතත් එම මට්ටමට 90% කට ආසන්නයෙන් සිටිමු.

මෙම පරිහානිය තිබියදීත්, 2015 සහ 2020 අතර වාර්ෂික ශුද්ධ විපර්යාස අනුපාතය -0.15% සමඟ ශ්‍රී ලංකාව තවමත් සැලකිය යුතු වන ආවරණයක් පවත්වාගෙන යයි. මෙම වනාන්තරවලින් බහුතරයක් (හෙක්ටයාර් 1,863,210) ස්වභාවිකව නැවත වර්ධනය වන අතර, හෙක්ටයාර් 249,810 ක් වගා කරන ලද වනාන්තර වේ. 2015 වන විට, බොහෝ වනාන්තර (හෙක්ටයාර 1,775,820) පොදු හිමිකාරිත්වය යටතේ පැවති අතර කුඩා කොටසක් (හෙක්ටයාර 181,570) පුද්ගලික හිමිකාරත්වයේ පැවතිනි. 2020 වන විට හෙක්ටයාර 1,258,370ක් (වනාන්තර ප්‍රමාණයෙන් 59.11%ක්) රක්ෂිත ප්‍රදේශ තුළ පැවති බැවින්, වන ආරක්ෂණය සඳහා ශ්‍රී ලංකාව කැපී පෙනෙන උත්සාහයන් ගෙන ඇත. කෙටියෙන් කිවහොත්, අපි Mad Max මට්ටම්වල නොසිටින අතර, දේවල් පවතින තාක් කල් අපි එවැනි තත්වයන් තුළ නොසිටින්නෙමු.

නමුත් අපට විසඳිය යුතු ගැටළු තිබේ.

පළමු ගැටළුව වන්නේ දත්ත සහ අධීක්ෂණයයි. නියමාකාර නිවැරදි කිරීම් සිදු කිරීමේදී පුළුල්, ජාතික මට්ටමේ සංඛ්‍යාලේඛන ප්‍රයෝජනවත් නොවේ. එහිදී, හරියටම කොපමණ ප්‍රමාණයක් නැති වී යනවාද යන්න පිළිබඳව අපට නිවැරදි අදහසක් ඇති බවක් නොපෙනේ. සංඛ්‍යාලේඛන පුළුල් ලෙස වෙනස් වන්නේ ඒවා විවිධ ආයතන විසින් එකතු කරන නිසා පමණක් නොව, එකම ක්‍රමවේදයක් තුලින් වසරින් වසර සංඛ්‍යාලේඛන එකතු කිරීම සඳහා ඉතා සුළු පරිශ්‍රමයක් යෙදවීමද හේතුකාරණා වන බවයි පෙන්නුම් කෙරෙන්නේ. 

උදාහරණයක් ලෙස, 2024 ද මෝනිං (The Morning) පුවත්පත විසින් පළ කරන ලද ලිපියක ලෝක වැසි වනාන්තරවල සංඛ්‍යා උපුටා දක්වා ඇත. [19]

එය UNFCCC වෙත [20] හෝ ජනප්‍රිය වෙබ් අඩවියක් වන Global Forest Watch [21] වෙත ශ්‍රී ලංකාවේ වන සමුද්දේශ මට්ටමේ ඉදිරිපත් කිරීම් වලට කිසිසේත්ම ගැලපෙන්නේ නැත. ඇත්ත වශයෙන්ම, අප රජයේ දත්ත දෙස ඍජුව බැලිය යුතු වන අතර, මෙවැනි තුන්වන පාර්ශ්ව සංඛ්‍යාලේඛන මත විශ්වාසය තැබිය යුත්තේ මන්දැයි යමෙකු අසනු ඇත; පිළිතුර වනුයේ ශ්‍රී ලංකාවේ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව සතුව අප්‍රයෝජනවත් වෙබ් අඩවියක් ඇති අතර, සත්‍ය සංඛ්‍යාලේඛන තබා ප්‍රයෝජනවත් කිසිවක් පෙන්නුම් නොකරන තරම්ය [22]; මේ අතර, වනජීවී හා වන සංරක්ෂණ අමාත්‍යාංශය සැබෑ සංඛ්‍යාලේඛනවලට වඩා එහි බංගලා සහ සඟරා ප්‍රචාරණය කිරීමට කැමැත්තක් දක්වයි [23].

වන වගාව සහ සංරක්ෂණය සඳහා කැප වී සිටින රජයේ ආයතන බොහෝමයක් ඇති බව පෙනුනත්, ඒවා බොහෝ අවස්ථාවලදී ඩ්‍රෝන යානා ඇති පුද්ගලයින් තිස් දෙනෙකුට වඩා අඩු ප්‍රයෝජනවත් බව පෙනේ. ගැටළු විසඳීමේ පළමු පියවර වන්නේ ඒවා කොතැනදැයි දැන ගැනීමයි; වන ආවරණයේ වෙනස්වීම් නිරීක්ෂණය කිරීමට සහ නීති විරෝධී ක්‍රියාකාරකම් කල් ඇතිව හඳුනා ගැනීමට තාක්ෂණය යොදා ගනිමින් වනාන්තර ප්‍රදේශ නිරන්තරයෙන් විගණනය කිරීමට අවශ්‍ය වේ. චන්ද්‍රිකා ඡායාරූප සහ ඩ්‍රෝන දර්ශන වැනි බොහෝ දේ දැන් සෑම තැනකම පාහේ දක්නට ලැබෙනවා පමණක් නොව; ඒවා ලාභයිද වන්නේය. අප විසින් ලබා ගන්නා සියලුම චන්ද්‍රිකා ඡායාරූප නොමිලේ ලැබුණු අතර, ඔබට තනි Mahindra Bolero වාහනයක මිලට DJI ඩ්‍රෝන යානා කුඩා ප්‍රමාණයක් ලබා ගත හැක. පොදු භාවිතයේ ඇති හොඳම දත්ත වෙනත් රටවල් විසින් සම්පාදනය කරන ලද ඒවා වීම ලැජ්ජාවට කරුණකි.

දෙවැන්න ට ඇතුලත් වන්නේ පැහැදිලි ඉඩම් පරිහරණ සැලසුම් සහ වගකීම් වේ. එයින් අදහස් කරන්නේ දේවල් වැරදුණු විට ඒ පිළිබඳව තීරණ ගත හැකි ප්‍රධානීන් සිටීමය. රාජ්‍ය නිලධාරීන් සමග මා කළ සංවාදවලදී, මට දිගින් දිගටම හමුවූ විස්මිත කරුණක් වූයේ, රජය කොපමණ වනාන්තරයකට වගකිව යුතුද යන්න නිශ්චිතවම නොදන්නා බවයි. විවිධ ඉඩම් ප්‍රදේශ විවිධ දෙපාර්තමේන්තු සතු වේ; දිගු කලක් අමතක වී ඇති ගැසට් මගින් මායිම් කරන ලද විවිධ කලාප; බොහෝ  ඒවා අතිච්ඡාදනය වේ; සහ දේශීය දැනුමෙන් පරිබාහිරව, ඉහළින් පවතින බොහෝ දේ වැඩි වැඩියෙන් විසරණය වී යල් පැන ගිය බව පෙනේ.

මෙයට අර්ධ විසඳුමක් ඇත: සැලකිල්ලක් වන ප්‍රාදේශීය ප්‍රජාවන් ශක්තිමත් කිරීම. උදාහරණයක් ලෙස, වනජීවී සහ ස්වභාව ආරක්ෂණ සංගමයට (WNPS) ආනවිලුන්දාවේදී දේ ක්‍රියාත්මක කිරීමට බලය ඇත. ජෛව විවිධත්ව ශ්‍රී ලංකාව  (Biodiversity Sri Lanka) ආයතනය හායනයට ලක් වූ වැසි වනාන්තර ප්‍රතිෂ්ඨාපනය කරමින් සිටී. තවත් පියවරක් ඉදිරියට තබමින්,ගම් මට්ටමේ නිලධාරීන්ට ඔවුන්ගේ වනාන්තර කොටස නඩත්තු කිරීමට සහ ආරක්ෂා කිරීමට උපකාර කිරීමට අපට අරමුදල් සැපයිය හැකිද?

තුන්වැන්න වන්නේ නීතියයි. නීති විරෝධී දැව කැපීම් සහ ඉඩම් ආක්‍රමණයට එරෙහිව අපට දැඩි නීති අවශ්‍ය වන අතර නීති උල්ලංඝනය කිරීම් සඳහා පැහැදිලි දඩුවම් අවශ්‍ය වේ. සූරාකෑමට ඉඩ සලසන පාරිසරික නීතිවල වත්මන් හිඩැස් මෙන්ම මේවා ඇත්ත වශයෙන්ම ක්‍රියාත්මක කිරීමේ යාන්ත්‍රණයන් පිළිබඳ සමාලෝචනයක් මෙයට ඇතුළත් විය යුතුය. මෙහි නියාමකයින් ලෙස ක්‍රියා කරන රජයේ බලධාරීන් ද ඇතුළත් විය යුතුය, ඒ සත්කාර කර්මාන්තයේ පරිසර සංචාරක බංගලා හරහා ආදායම් ලබන අය  ලෙස නොව. මෙය වගකිව යුතු ආයතන බොහොමයක ඇති ප්‍රධාන ගැටලුවකි. අපට අවශ්‍ය වන්නේ කැලෑ පොලිසිය මිස ඛණ්ඩනය වූ ආයතන තුල ඇති දුර්වල හා පරස්පර විරෝධී අරමුණු නොවේ. මෙය නොමැතිව, ශ්‍රී ලංකාවේ වනාන්තර සදහටම තම ආත්මාර්ථකාමී අභිප්‍රායන් ඉටුකරගැනීමට වෙර දරන ඉහළ තනතුරු වල සිටින පුද්ගලයින් මත පවතී.

කලම්බු ටෙලිග්‍රාෆ් (Colombo Telegraph) පුවත්පතට ලිපියක් යවමින් තරුණ නීතීඥයින් පිරිසක් පරිසරයට හානි කරන පුද්ගලයන් ජීවිතාන්තය දක්වා සිරගත කරන ලෙස [3] වරක් ඉල්ලා සිටියහ. එය ටිකක් සැර වැඩි විය හැක, නමුත් ඔවුන් බොහෝ දේ නිවැරදි කර ඇත. මේවා අපට විසඳිය හැකි ගැටළු වන අතර, අප විසින් කළ යුත්තේ දෙවැන්නයි.

මූලාශ්‍ර

[1] https://www.sanctuarynaturefoundation.org/article/sinharaja---the-heart-of-south-asian-biodiversity

[2] https://www.dailymirror.lk/news-features/Sinharaja-suffers-from-tourist-development/131-162284

[3] https://www.colombotelegraph.com/index.php/the-deforestation-in-sinharaja-rainforest-reserve-environment-law-in-sri-lanka/

[4] Lindström, S., Mattsson, E., & Nissanka, S. P. (2012). Forest cover change in Sri Lanka: The role of small scale farmers. Applied Geography, 34, 680-692.

[5] https://www.sundaytimes.lk/230723/plus/new-life-for-kanneliyas-degraded-rainforest-525836.html

[6] https://biodiversitysrilanka.org/the-life/

[7]  Botejue, W. M. S., & Wattavidanage, J. (2012). Herpetofaunal diversity and distribution in Kalugala proposed forest reserve. Western province of Sri.

[8] https://www.undp.org/sites/g/files/zskgke326/files/2022-10/04.%20LS%20Strategy%20-%20Knuckles%20Landscape.pdf

[9] https://www.tourism.cp.gov.lk/sites/default/files/2023-11/Value%20chain%20analysis%20report_Knuckles%20July%2014.pdf

[10] Ruzaik, F. (2023). Appraising the Ecotourism Potentials of the Knuckles forest Reserve to Preserve its Sustainability.

[11] Botejue, W. M. S., & Wattavidanage, J. (2012). Herpetofaunal diversity and distribution in Kalugala proposed forest reserve. Western province of Sri.

[12] https://sustainability.sjp.ac.lk/yagirala/

[13] https://units.kln.ac.lk/css/index.php/event/205-successful-completion-of-our-forest-restoration-project-at-yagirala-forest-reserve

[14] https://www.combank.lk/news/news-events/combank-joins-yagirala-rainforest-conservation-effort-with-pledge-to-plant-10500-trees

[15] https://www.dailymirror.lk/front_page/Anawilundawa-Ramsar-Wetland-Destruction-brought-Sri-Lanka-into-disrepute-Environmental-specialist/238-194891

[16] https://www.defence.lk/Article/view_article/4945

[17]https://ceylontoday.lk/2024/05/04/saving-anawilundawa/

[18] https://openknowledge.fao.org/server/api/core/bitstreams/e88a9ccf-6c51-4fc5-814a-620b6056ad8c/content

[19] https://www.themorning.lk/articles/B0dVupNYGLc3piwvyeOK

[20] https://redd.unfccc.int/media/sl_frl_modified_submission_november_2017.pdf

[21] https://www.globalforestwatch.org/dashboards/country/LKA/?location=WyJjb3VudHJ5IiwiTEtBIl0%3D 

[22] https://forestdept.gov.lk/index.php/en/#

[23] https://www.mwfc.gov.lk/department-of-forest-conservation/